විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ජනපති පුටුවට ගිය පසු අමතක වෙනවා – මල්වතු මහනාහිමි

69

අතීතයේ සිට බොහෝ නායකයන් තමන් වෙත පැමිණ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ජනපති පුටුවට ගියපසු ඔවුන්ට අමතකව ගිය බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

තමන් වහන්සේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ ලද අත්දැකීම් මත ඒ බව කිව හැකි යැයි කී උන්වහන්සේ ජනපතිවරණයක් පැමිණි පසු විධායක ජනපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දුන් සියලු නායකයන් ජනපති පුටුවට පැමිණි පසු එය අමතක කර කටයුතු කළ බව ද පැවසූහ. ඉදිරි ජනපතිවරණයේදී ද මෙම මාතෘකාව කරළියට පැමිණ සුපුරුදු පරිදි ජනපතිවරණයෙන් පසු එය යටපත්ව යනු ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ඊයේ (02) මල්වතු මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ජනපති පුටුවට ගිය පසු අමතක වෙනවා - මල්වතු මහනාහිමි

අලුත් අවුරුද්දක් එළැඹි පසු කිරි උතුරුවා ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කර ටික දිනක් ගිය පසු පෙර පැවැති තත්ත්වයෙන්ම වැඩ කරන රටක ජනතාවාදී වෙනස්කම් පාලකයින් ගෙන් බලාපොරොත්තු විය නොහැකි යැයි ද මහනාහිමියෝ අවධාරණය කළහ.

මේ රටේ සිංහල හා දෙමළ ජන කොටස් තාමත් ජීවත් වෙන්නේ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බවත්, පටු අදහස් දරන කණ්ඩායම් මෙම ජන කොටස් දෙකේම සිටින බවත් විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වූයේ පටු දේශපාලනය හේතුවෙන් බවත් මෙහි දී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා කීවේය.

දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ පිරිස මෙතෙක් කල් රටට එරෙහි මතයක සිටියත් ඔවුන් මේ වනවිට රටේ සංවර්ධනය වෙනුවෙන් සහාය දීමට එකඟතාව පළකර තිබෙන බවත් ඔවුන්ගේ මතය එක්වරම ප්‍රතික්ෂේප නොකර ඒ සම්බන්ධව සාකච්ඡා කර පොදු මතයකට ඒම වැදගත් බවත් ඒ මහතා කියා සිටියේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment