විමල්ට නඩු දමා වසර 5ක් ගියත් එක් දිනක්වත් විභාගයට ගෙන නෑ

428

විත්තියේ විරෝධතා ගැන නියෝගයක් දී කඩිනමින් නඩුව විභාගයට ගන්න
නීතිපති උසාවියෙන් ඉල්ලයි

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක් තුළදී සිය වැටුපෙන් හා උපයා ගැනීම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා එක් දිනක් හෝ විභාගයට ගෙන නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අපේක්ෂා ජිනසේන මෙනවිය ඊයේ (15 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතාට පැවසුවාය.

පැමිණිල්ලට වළක්වාගත නොහැකි විවිධ හේතුන් නිසා නඩුව ආරම්භ කිරීමට නොහැකි වී ඇති බැවින් විත්තිය ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබාදී නඩු විභාගය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මහාධිකරණය විසින් විත්තිකරුට එරෙහිව ලබාදුන් නියෝගයකට එරෙහිව ඉහළ අධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කර ඇති බැවින් ඉහළ අධිකරණයේ නියෝගයක් ලැබෙන තුරු මෙම නඩුව විභාගයට ගැනීම අත්හිටුවීමට වඩා සුදුසු වන්නේ යැයි විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කර ඇත්තේ තම අධිකරණය විසින් විත්තිකරුට එරෙහිව ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් නොව වෙනත් මහාධිකරණයක් ලබාදුන් නියෝගයක් පිළිබඳව බවත් කෙසේ නමුත් එලෙස ගොනු කළ බව කියන අභියාචනාවට අදාළ නඩු අංකයක් හෝ මේ දක්වා විත්තිය තම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දුන් විනිසුරු නවරත්න මාරසිංහ මහතා එබැවින් විත්තියේ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මූලික විරෝධතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට අවශ්‍ය නම් වාචික කරුණු දැක්වීම ලබන මස 16 වැනිදා සිදු කළ හැකි බව ද පෙන්වා දුන් විනිසුරුවරයා එදින එම නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

විත්තිකාර විමල් වීරවංශ මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නීතිඥ හේමන් කොඩිතුවක්කු නීතිඥ විජේසිරි අඹවත්ත යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment