විවාහයට හරස්වන කේන්දරය

286

පාසල් දිවියේදී ඇතිකරගත් පෙම් සබඳතාවයක් අනුව වයස අවු.24 දී දෙමාපියන්ට අවනත නොවී හදිසියේ විවාහයට පාතැබූ කටක ලග්නය හිමි කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ රාහු ශනි උපතින් යෙදුන තරුණයාට තම භාර්යාව එපා විය. තිත්ත හරුපවලින් බැණ වදිමින් ගැටුම් ඇතිවිය. මෙහි හත්වැන්න වූ මකර රාශියේ කුජ ශනි බලවත් වූවත් මෙය ස්ත්‍රියට ඔරොත්තු නොදෙන බලවත් වීමකි. භාර්යාවගේ ශාරීරික ශක්තිය ප්‍රමාණවත් නැත.

දරුවකුගේ ළමා අවදිය පසු කරමින් ඉන් පසුව වයස අවු. 15, 16 වන විට යෞවන අවදියට පාතබන කාලසීමාව වන අතර එහිදී මනසට ආදර හැඟුම් ඇතුල්වීමද සිදුවේ. විශේෂයෙන් මෙය පාසල් දිවියෙන් ආරම්භ වන අතර අධ්‍යාපන කටයුතුද ඒ අනුව සාර්ථක කරගන්නා දරුවෝ සිටිති. ඒ අතරතුර අධ්‍යාපනය අවුල්කර ගන්නා අයද සිටිති. ඊට හේතුවන්නේ ආදරවන්ත හැඟීම් සීමාව ඉක්මවා යෑමය. කෙසේ නමුත් මෙම මානසික ආදරවන්ත හැඟීම් වැඩිදියුණුවී විවාහය දක්වාම දෙදෙනා අතර සම්බන්ධතාවය තහවුරු වේ. ඉන්පසු දෙමාපියන් වෙතද මෙම සබඳතාවය ඉදිරිපත් වීමෙන් ඔන්න ඉතින් හරස්වන එකම දෙය කේන්දරය.

පාසල් ජීවිතයෙන් ආරම්භ වූ ළමා යහලු යෙහෙලි සබඳතාවයේ තීරණාත්මක අවස්ථාව දෙදෙනාගේ කේන්ද්‍රයෙන් තමයි ස්ථිර වන්නේ. කේන්දරේ හරහට හිටියොත් මොකද වෙන්නෙ. මෙතැනදී දෙමාපියන්ගේ මුහුණේ දැලිගාන අයත් සිටින බව අමතක නොකළ යුතුය. ආදර සබඳතාවය ආරම්භයේදීම ස්ථිර තීරණයකට එළඹ තිබීම නිසා සමහර දරුවෝ දෙමාපියන් පවා අමතක කර ඉහත කී තත්ත්වයට පත්වෙන ආකාරයද අද සමාජය තුළ බොහෝ අවස්ථාවල දකින්නට ලැබේ. දෙදෙනාගේ උපන් කේන්ද්‍රයට අනුව පොරොන්දම් බැලීම පැත්තකට විසිකර හොර රහසේම දෙදෙනා විවාහ දිවියට පත්වී මේ ආකාරයට හදා වැඩූ දෙමාපියන්ගේ දෙනෙත්වල කඳුළු පුරවමින් මුහුණේ දැලි ගාමින් දරුවා කෙරෙහි දෙමාපියන් තුළ තිබූ සුබදායක බලාපොරොත්තු සියල්ල සුනු විසුණු කරන්නේය. කෙසේ නමුත් විවාහ වී වසරක් පමණ ගතවනවිට ස්ත්‍රීන්ගේ හෝ පුරුෂයාගේ උප්පත්ති කුජ ශනි යෝග කේන්ද්‍රයේ හත අට යන භාව තුළ ඒරාෂ්ඨක කාල සීමාවත් ලබා ක්‍රියාත්මක වීමෙන් දෙදෙනා අතර ගැටුම් ආරවුල් ඇතිවී විවාහය දෙදරා යෑමට මුල පුරන විට දෙමාපියන්ට ඇතිවන්නේ මොනතරම් වේදනාවක්ද? කවුරු කෙසේ කීවත් විවාහ විසි පොරොන්දම් අතර ග්‍රහ පොරොන්දම අනුව කේන්ද්‍රයේ හත අට භාව දෙක තුළ ශනි හා කුජ උපතින් යෙදීම නිසා ඇතිවූ දුෂ්ඨ බලපෑමක් හේතුවෙන් විවාහ දෙකඩ වී ඇති ආකාරය බොහෝ අවස්ථාවල මා දැක ඇත්තෙමි. මීන ලග්නය හිමි ස්ත්‍රියකගේ කුජ ශනි අට වැන්නේ උපතින් යෙදීමෙන් දෙවරක් විවාහයක් සිදුකරගත් නමුත් ගැටුම් මධ්‍යයේ අසාර්ථකවූ ආකාරය මා දුටිමි. මෙහි සෙනසුරු තුලාවේ උච්චවීම සමඟ කුජ සම්බන්ධවීම නිසා රහසිගත සබඳතා සල්ලාල ගති ඊට හේතුවිය. පළමු විවාහය අසාර්ථකවී දෙවෙනි විවාහය සිදුකර ගත්තත් තම පුරුද්ද අත්හැරියේ නැත. මේ නිසා දෙවෙනි විවාහක පුරුෂයා ස්ත්‍රියව නිවසින් පන්නා දැමුවේ.

පාසල් දිවියේදී ඇතිකරගත් පෙම් සබඳතාවයක් අනුව වයස අවු.24 දී දෙමාපියන්ට අවනත නොවී හදිසියේ විවාහයට පාතැබූ කටක ලග්නය හිමි කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ රාහු ශනි උපතින් යෙදුන තරුණයාට තම භාර්යාව එපා විය. තිත්ත හරුපවලින් බැණ වදිමින් ගැටුම් ඇතිවිය. මෙහි හත්වැන්න වූ මකර රාශියේ කුජ ශනි බලවත් වූවත් මෙය ස්ත්‍රියට ඔරොත්තු නොදෙන බලවත් වීමකි. භාර්යාවගේ ශාරීරික ශක්තිය ප්‍රමාණවත් නැත.

කෙසේ නමුත් ස්ත්‍රී පුරුෂ දෙපළකගේ විවාහය ගැන බැලීමේදී ග්‍රහ පොරොන්දමට විශේෂත්වයක් හිමිවන බව පැහැදිලිව පෙනෙන කාරණයකි. මෙය උපතේ පිහිටීම හා ගෝචර ඵල අනුවද බැලීම සුදුසු වන්නේය. පුරුෂ කේන්ද්‍රයේ හත, අට පමණක් නොව දෙවැන්න ගැනද බැලීමට සිදුවේ. පුරුෂ කේන්ද්‍රයක හත්වැන්න අධිපතියා හයවැන්න, අටවැන්න දොළොස්වැන්න යන භාවයක බලයෙන් හීනවී සතුරුවී උපතින් යෙදී සිටී නම් සිදුවන්නේ දුර්වල විවාහයකි. බලවත් රෝග තත්ත්වයකින් පෙළෙන ස්ත්‍රියකි. යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂ පක්‍ෂයේ අයකුගේ කේන්ද්‍රයෙහි සිකුරු හත්වැන්නේ සිටීමෙන් අධික කාමාධික අයකු වෙනවා මෙන්ම සිකුරු පාප ග්‍රහයින් සමඟ පාපග්‍රහ රාශියක උපතින් යෙදී සිටීනම් විවාහයට කේන්ද්‍රය හරස්වී විවාහ සැප නැතිවේ. ඊළඟට උපන් නැකත අනුව දේව, මනුෂ්‍ය, රාක්‍ෂ නම් වූ ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ කේන්ද්‍රයෙහි ගණ පොරොන්දම අසුබ වූයේ නම් සාමකාමී විවාහ ජීවිතයකට බාධා සිදුවේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනා මේෂ – කන්‍යා, කටක – මිථුන, කන්‍යා – මීන, මීන – තුලා, සිංහ – තුලා, මකර සිංහ, මෙම අයට ගණ පොරොන්දම අසුබ වුවහොත් විවාහ ජීවිතය තුළ සාමය සමගිය නැතිවන්නේය.

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ යෝනි පොරොන්දම අසුබ වීමද කේන්ද්‍රයට අනුව විවාහය සඳහා හරස් වන්නේය. වෛර සතුන් දෙදෙනකු එකට සිටීමට නොහැකිවන අතර ඒ අනුව බලල් හා මී, අශ්ව සහ මී ගව, ඇත් සිංහ, මුව බලු, නයි මුගටි, වඳුරු එළු, ගවයා කොටියා මේ සතුන් සදා වෛර බැවින් මෙම සත්ව යෝනි ගණයට අසුවන ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයට විවාහ ජීවිතය සමගිය සැනසීම සතුට නැතිවන්නේය. එය එසේ වූවත් දෙදෙනාගේ ලග්න රාශි පොරොන්දම සමඟ චන්ද්‍ර රාශියද ග්‍රහ පොරොන්දමද ලිංග පොරොන්දමද සුබ වේ නම් යෝනි පොරොන්දම් දෝෂය භංග වෙන බව පැරණි ග්‍රන්ථ කතුවරුන් පෙන්වා දී ඇත. කෙසේ නමුත් ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම යෝනි වර්ගයකට අයත් නම් විවාහයට ඉතා සුබදායක බව පෙන්වා දී ඇත. එසේ වුවත් මේ අතර විවාහයට සුදුසුම නැති විෂ යෝනි හිමි ස්ත්‍රීන් සිටින බව කේන්දර තුළින් අප හඳුනාගත යුතුය. මේවා ඉතා තදින් විවාහයට හරස් වන්නේය.

දෙවෙනි තිථිය ලත් අස්ලිස නැකතෙන් ඉරිදා දින උපත ලැබූ අය හත්වෙනි තිථිය ලත් කැති නැකතෙන් සෙනසුරාදා උපන් අය. දෙළොස්වෙනි තිථිය ලත් සියාවස නැකතෙන් කුජ දින උපන් අය. ලග්නයේ හා හයවැන්නේ පාපග්‍රහයින් සිටි අය. සෙනසුරු ලග්නයේත් රවි පස්වැන්නේත් කුජ නව වැන්නේත් සිටි අය. විෂ යෝනි සහිත මෙම ස්ත්‍රීන් විවාහ කටයුතුවලදී කේන්දරය තුළින් අප හඳුනාගත යුතු අතර අවාසනාවකට මෙවැනි ස්ත්‍රීන් සමඟ විවාහ වුවහොත් එම පුරුෂයාට තමන්ගේ ජීවිතය පවා එපා වේ. විවාහ වී සතියෙන් දෙකෙන් දෙදෙනා අතර අඩදබර නිතර හටගනී. සාමය සතුට පලායනු ඇත.

ඊළඟට ලිංග පොරොන්දමද විවාහයේදී දෙදෙනා අතර සාමය සමගියට හේතුවන කරුණකි. ස්ත්‍රියක් පුරුෂයෙක් විධියට හැසිරේනම් එය දෙදෙනාගේ සතුටට බාධාවකි. පුරුෂයෙක් ස්ත්‍රියක් විධියට හැසිරේ නම් ඉක්මනින් ස්ත්‍රීන්ට පුරුෂයා එපා වේ. උපන් කේන්ද්‍රයට අනුව පුරුෂයා ස්ත්‍රී ලිංග වීම කැති, අස්ලිස, පුවපල්, උත්‍රපල්, හත විසා අනුර පුවසල උත්‍රසල, දෙනට, රේවතී යන නැකැත් අනුව සැලකේ. මුවසිරස, මූල, සියාවස යන නැකැත් තුන නපුංසක ගණයට සැලකේ. අස්විද රෙහෙණ, බෙරණ අද, පුනාවස, පුෂ, මා, සිත, සා, දෙට සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් උපත ලැබූ අය පුරුෂ ලිංග වශයෙන් සැලකේ. මෙම නැකැත්වලින් උපත ලබා සිටින අයගේ හැසිරීම, කථා විලාසය, අනුව මෙම ලිංගික ස්වභාවය දැනගත හැකිවේ. එනිසා ස්ත්‍රියක් නම් ස්ත්‍රියකගේ විලාශය කැපී පෙනේ. පුරුෂයෙක් නම් පුරුෂයකුගේ විලාශය තිබිය යුතු අතර ඒ අනුව කැපී පෙනේ. එසේ නොමැතිව පුරුෂයෙක් ස්ත්‍රියකගේ හැසිරීම් විලාශයටත් ස්ත්‍රියක් පුරුෂයකුගේ හැසිරීම් විලාශයටත් පත්වීමෙන් විවාහ සැප දුර්වල තත්ත්වයට ඇද වැටේ. මීට අමතරව දෙදෙනා පුරුෂ පුරුෂ වීමද පුරුෂ හා නපුංසකවීමද දෙදෙනාම නපුංශක වීමද විවාහයට අසුබ වේ. දෙදෙනාගේ සබඳතාවයේදී මෙම දුර්වලතා ඇතිවේ. එම නිසා මෙම ප්‍රධාන පොරොන්දම්වල පරස්පරතාවය මත ඇතිවන මානසික පීඩනය ස්ත්‍රී පුරුෂ විවාහ ජීවිතයේ මුල් අවස්ථාවේ සිටම දිගින් දිගටම බලපෑමෙන් ඇතිවූ කනගාටුදායක සිද්ධි මා බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. එනිසා මිථ්‍යා මත වශයෙන් මේවා කුණු කූඩයට දැමිය නොහැක. පැරණි මිනිසා තම දූවරුන් විවාහයට බලන්ට එන ගැටවරයන්ගේ කායික විවාහ ශක්තිය පරීක්‍ෂා කළ ආකාරය ස්ත්‍රී දීර්ඝ, යෝනි, රජ්ජු, නාඩි ආදී පොරොන්දම්වලම කොටසක් බව මා වැඩිදුරටත් පෙන්වා දෙමි. එනිසා මා මෙතෙක් පෙන්වා දුන් පොරොන්දම් දෝෂ ඕනෑම ස්ත්‍රියකට පුරුෂයකුට තිබේ නම් විවාහයට කේන්ද්‍රය හරස් වෙනවාම තමයි.

ජ්‍යෝතිර්වේදී
ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ
දුරකථන අංකය- 0774347574

advertistmentadvertistment
advertistmentadvertistment