සාධාරණය ආරක්ෂාව නිති ලැබදී මනුෂයන්ට පිහිටවන සූනියන් දෙවියෝ

120

භයංකාර පෙනුමකට හිමිකම් කියන සුනියන් දෙවිඳුන් නීල වර්ණ ශරීරයකින්ද, ශිර්ෂ මස්ථකයේ සුදු ජටාවකින් ද දිවියෙකුගේ සමින් නිර්මිත සලුවකින් ද සැරසී සිටී. සුදු අශ්වයා වාහනය කරගත් සූනියන් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සැදුන නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක් ද වේ. එසේම දෙඋර මත කරවලුන් සිවු දෙනා බැගින් ද දෙඅතේ කරවලුත් 8 දෙනකු ද වෙලාගෙන සිටින අතර ඉනේ කොට නාගයන් කිහිප දෙනකු ද වෙලාගෙන සිටී. මේ සියලු නාගයන්ට අතිරේකව දෙපතුළ ළඟද නාගයෙක් සිටී. ලේ පොලඟුන් දහතුන් දෙනෙක් සිරුර පුරා සිටින අතර හිස සිට දෙපතුළ දක්වාම දිග නාගයන් දෙදෙනෙකි. භයංකාර රාක්ෂ මුහුණකින් යුතු සූනියන් දෙවියන්ගේ හිස හැඩපලු 13කින් යුතුය. සුරතේ තියුණු වඩිග කඩුවකින් ද වමතේ ගිනිගෙන දැවෙන කබලක් ද දරා සිටින සූනියන් දෙවියෝ සූකරාකාර පාද යුගලකට ද හිමිකම් කියයි.

පර්්‍යාය නාමයන් රැසකින් හඳුන්වනු ලබන සුනියන් දෙවියෝ මතු බුදුබව පතන දෙවි කෙනෙකි. සුනියන් දෙවියෝ ප්‍රාදේශීයව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. කබලෑ මුත්තා, කබලෑ දෙවියන්, අප්පච්චී, ගම්භාර සුද්ධ සුනියන්, ගම්භාර මුත්තා, සුද්ධ සූනියන්, වඩිග සූනියන්, ඔඩ්ඩි වඩිග සූනියන්, ඔඩ්ඩියා, ඔඩ්ඩි මස්සිනා, ඔඩ්ඩි දේවතාවා, ඔඩ්ඩි යකා හා ගම්භාර දෙවියන් ලෙසය. එනමුත් ගම්භාර දෙවියන් සුනියංන් දෙවිඳුන් නොවන බවත් මේ දෙපල දෙවිවරුන් දෙදෙනෙක් බවත් ඇතැම් ග්‍රන්ථවල සඳහන්ය. එසේම එම ග්‍රන්ථවල සඳහන් වන ලෙසට සූනියන් දෙවිඳුන්ගේ වාහනය වූ සුදු අශ්වයා සුදු පැහැති නොව නිල් පැහැ බවත්, ගම්භාර දෙවිඳුන්ගේ වාහනය වන අශ්වයා සුදුපාට බවත් සඳහන්ය. එපමණක් නොව ගම්භාර දෙවිඳුන්ගේ දකුණු අතේ තඹ පොතක් ද වමතේ ත්‍රිශුලයක් ද වේ. ශිර්ෂයේ සුදු ජටාවක් බැඳ උතුරු සළුවකින් සැරසී සිටින බව ද එහි සඳහන්ය. මේ අනුව සුනියන් දෙවිඳු හා ගම්භාර දෙවියන් එකම දෙවි කෙනෙකුන් නොවන බවත් දෙවිවරුන් දෙදෙනෙක් වන බවත් ඉතා පැහැදිලිය. තවද සූනියන් දෙවිඳුන්ට අවතාර 7කි. එම අවතාර පොදුවේ ඔඩ්ඩීසිය ලෙස හඳුන්වනු ලබන අතර ඒවා නාමිකව මෙසේය. ගරුඩ, කාල, නාග, අසුර, දෙමළ, රාජ, වඩිගය.

සුනියන් දෙවිඳුන් සාධාරණය වෙනුවෙන් විශේෂයෙන්ම පෙනී සිටින දෙවි කෙනෙකි. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට මහත් වූ කරුණාවෙන් පිහිට සරණ වේ. විශේෂයෙන් අහිංසක අසරණයන් යමෙකුගේ හිංසාවට, පීඩාවට, අපහාසයට, අවමානයට, හිරිහැරයට, වෛරයට, ක්‍රෝධයට ලක්වූ විට ඉන් මුදා, සැබෑ අහිංසකයන් තලා පෙළා නිගා කළ අයට දැඩි දඬුවම් ලබාදේ. මීට අතිරේකව නපුරුව දුර්ජනව උතුම් වූ මිනිසත් බවටත් නිගාකරන ව්‍යාජ සිල්වත් ප්‍රතිරූප රඟපාන ලෝකාධිපත්‍ය සීලය රක්ෂා කරන විශේෂයෙන් ඉරිසියාව, ද්වේශය, වෛරය මුල්කර ගෙන සැබෑ සිල්වත්, සත්‍යවාදී, ගුණගරුක, නිහතමානී, අවංක මනුෂයන්ට අනවින, කොඩිවින, ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, භූමි පාළු, රූප කටු ගැසීම්, හදි හූනියං, නීච කුල බන්ධන ආදී මෙකී නොකී සියලු වින එම වින සිදුකරන්නා වූ ඇදුරන්ට ද එම වින කරවූ හා ඊට කවර ලෙසකින් හෝ හවුල්ව දායක වූ අයට ද ශාප කර ආපිට කපා යවනු ලබයි. එසේම නොසිතූ විරූ ලෙස දැඩි දඬුවම් දෙනු ලබයි.

මෙයට නිදසුනක් ලෙස අතීත කතා පුවතක් ගෙනහැර පා දක්වාලිය හැක. ඒ මෙසේය. මැණික් පාලී නම් බිසවට ඉතා දරණු විනයක් කර එතුමිය රෝගී කර තිබිණි. මෙම විනය සෘෂි උතුමන්ටවත් කැපිය නොහැකි මහා බලගතු විනයක් විය. යමෙකු එම විනය කැපීමට යන විට ආතුරයාට ළංවීමට නොහැකි වන සේ රියන් 18ක් උස විශාල පොලඟෙකු පෙනී සිටියි. ඒ නිසා එම භයානක විනය කපා මැණික් පාලී බිසව එම විනයෙන් මුදාලීමට ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආරාධනාවෙන් සුනියන් දෙවිඳුන් පැමිණි බවත් එහිදී සූනියන් දෙවිඳුන් තම අතෙහි වූ වඩිග කඩුවෙන් රියන් 18ක් උස පොලඟාගේ හිස දෙපලු කළ බවත් එයින් මැණික් පාලී බිසවුන්ගේ විනය කැපී ගොස් එතුමිය සුවපත් වූ බවත් කිය වේ.

සුනියන් දෙවිඳුන්ට භක්තියෙන් දිනපතා පහන් තැබීම ඉතාම ප්‍රතිඵල දායකය. පිහිට සරණ ආරක්ෂාව උපරිමයෙන් ලද හැකිය. ඒ සඳහා පහන් තබන්න. සිල්වත් විය යුතුය. කරුණාවන්ත විය යුතුය. චරිතවත්ව අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. විශේෂයෙන් කවර හෝ දෙවි කෙනෙකුට පහන් තැබීමේදී දිය නා පිරිසිදු වී පිරිසිදු සුදු වස්ත්‍රයක් හැඳ පහන් තැබිය යුතුය. සාමාන්‍යයෙන් සූනියන් දෙවිඳුන් උදෙසා පහන් තැබීමට රාත්‍රී 9.00 සිට 9.45 දක්වා නිර්දේශ කර ඇත. සූනියන් දෙවිඳුන් උදෙසා පහන් තබන ස්ථානය නිවසේ සිට අවම වශයෙන් අඩි 20ක් පමණ දුරින් සකසා ගත යුතු අතර එහි උස අඩි 3 1/2ක් 4ක් පමණ විය යුතුය. විශේෂයෙන් දෙවිවරුන් උදෙසා පහන් තැබීමේදී කාන්තාවන් කිලිකුණුවලින් තොර විය යුතුය. කාන්තාවන් කිලිවන කල නොකඩවා දිනපතා තැබූ පහන වෙන අයෙකු ලවා නියමිත වේලාවට තැබිය යුතුය. තවද මේ සම්බන්ධව සූනියන් දෙවිඳුන් විසින් සමාව ද ඇය ද සිටිය යුතුය. මෙසේම මළ ගෙදරක ගියවිටත්, මල්වර උත්සවයකට සහභාගි වූ විටත් ළඟදී දරුවෙකු ප්‍රසුත කළ නිවසකට ගියවිටත් දෙවිවරුන් උදෙසා පහන් තැබීමට පෙර දිය නා පිරිසිදු වී දෙහි යුෂ හිසේ පටන් දෙපතුළ දක්වා තවරා ඉන් අනතුරුව පහන් තැබිය යුතුය.

විශේෂයෙන් සූනියන් දෙවිඳුන්ට පහන් දිගින් දිගටම නොකඩවා භක්තියෙන් ගෞරවයෙන් තැබීමෙන් යක්ෂ, ප්‍රේත, වින බන්ධන, භෛරව දෝෂ ආදිය සමනය වේ. ගේ දොර සතුට සාමය වර්ධනය වී ව්‍යාපාර දියුණුව ආදිය ඇති වී පුද්ගලයාගේ බැබලීම ගෙන දේ. ඉහත සඳහන් කළ ලෙසට සූනියන් දෙවිඳුන් උදෙසා පහන් දැල්වීමට පෙර පහන් දල්වන ස්ථානයට සුවඳ දුම් අල්ලා කහ දියර ඉස පහන් දැල්වීම සිදු කළ යුතුය. මෙහිදී සුදු මල් වට්ටියක් හා එළඟි තෙල්, පොල් තෙල් වැනි තෙල් වර්ගයකින් පහන දැල්විය යුතුය. සාමාන්‍යයෙන් කෙම්මුර දවස් වන බදාදා හා සෙනසුරාදා සූනියන් දෙවිඳුන් සඳහා පහන් තැබීම විශේෂය. මේ නිසා එම දින දෙකේ සූනියන් දෙවියන්ට බාරහාර වීමත්, බාරහාර නිදහස් කිරීමත් සිදු වේ. සූනියන් දෙවිඳුන් සඳහා බාරහාර ඔප්පු කිරීමේදී ඒ සඳහා පිළියෙල කරනු ලබන පූජා වට්ටිය ඉතාම සුවිශේෂය. එම පූජා වට්ටිය පොල් ගෙඩියකින් ද පලතුරු 7 වර්ගයකින් ද (මෙහිදී විශේෂයෙන් ගෙඩි පූජාව ප්‍රතිඵල දායකය.) බුලත් කොළ ද කැවිලි වර්ග 7කින් ද බැදපු ටේස් කඩල ආදියෙන් ද සුදු මල්වලින් ද සුදු මල් මාලයකින් ද ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින් ද යුතු විය යුතුය. මෙහිදී ගෙඩි පූජාවේ ගෙඩි සිදුරු කර හෝ පලා සුවඳ විහිදෙන ලෙස පූජා වට්ටිය සැකසීම සිදු කළ යුතුය. තවද සූනියන් දෙවිඳුන් මෙන්ම කවර හෝ දෙවි කෙනෙකුන් උදෙසා පහන් තැබීම සඳහා පිරිසිදු පොල්තෙල් හෝ තැඹිලි තෙල් ලබා ගැනීමේදී ඒ සඳහා අත් තෙල් යොදා ගැනීම ඉතා සුදුසුය. රන් තැඹිලි තෙල් මේ සඳහා විශේෂය. එසේ නැත්නම් මූඩිය සීල් කරන ලද වීදුරු බෝතල තුළ වූ එළඟිතෙල් වීම සුදුසුය. විශේෂයෙන් අත් තෙල් සිඳ ගැනීමේදී සුදුසු ශුභ නැකතකින් තැඹිලි හෝ පොල් අවශ්‍ය පමණ ඉරට්ටේ ගුණාකාරයෙන් බිම නොදමා අතට කඩා ගත යුතුය. එම ගෙඩි යම් උසකින් තබා ලී උලකින් ලෙලි ගසා ලීයකින් බිඳ ලී නිර්මාණයකින් ගා (හිරමන තලය ලීයෙන් කළ) ලියෙන් හෝ මැටියෙන් කළ බඳුනකට පොල් හෝ තැඹිලි ගෙඩිවල වූ වතුරෙන්ම පොල් මිරිකා ගත යුතුය. මින් අනතුරුව උසින් පිහිටි ගොම මැටි ගෑ ලිපක නැවුම් මැටි භාජනයක ශුභ නැකතින් ලිප තබා, කුරුඳු දර, රත්හඳුන් හොා් පැඟිරි දර විශේෂයක් භාවිත කර තෙල් සිඳ ගත යුතුය. මෙහිදී දර වර්ග දැල්වීමට හදුංකූරු හෝ කපුරු පෙති යොදා ගැනිම යහපත්ය. මෙසේ සුවිශේෂී ලී භාණ්ඩ මැටි භාජන ආදිය තෙල් සිඳීම සඳහා යොදාගන්නේ ස්වභාවිකත්වය උපරිමයෙන්ම ආරක්ෂා කර ගැනීම සඳහාය.

කෙසේ නමුත් අවි ආයුධ අත දරා සිටින රාත්‍රී 10.00න් පසු රාක්ෂ විලාසය ගන්නා වැරදි කළ අයට සමාවෙන් තොරව දැඩි දඬුවම් ලබාදෙන මතු බුදු බව පතනා සූනියන් දෙවියන්ට ඔබත් කවර හෝ සුළු පුණ්‍යකර්මයක් සිදු කළ විට භක්තියෙන් ගෞරවයෙන් පින් අනුමෝදන් කරන්න. එය උන් වහන්සේගේ පිහිට සරණ ආරක්ෂාව ආශීර්වාදය ලැබීමට නිති හේතුය.

සාධාරණය ආරක්ෂාව නිති ලැබදී මනුෂයන්ට පිහිටවන සූනියන් දෙවියෝ

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment