ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයි

69

පිංවත ලැබුවා වූ 2024 නව වසර පිංවත් ඔබ සතුටින්, පුණ්‍යවන්ත සිතින් පිළිගත්තා ද? එසේත් නැතිනම් 2024 නව වසර, සතුට ඔබට ගෙනත් දේවි යැයි කියලා, තවමත් බලාගෙන සිටිනවා ද? පිංවත අලුත් අවුරුද්ද තුළින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. උදාවෙන නව වසරක තිබෙන්නේ, දිනෙන් දින ගෙවීයන දින 365 ක් විතරක්මයි. පිංවත උදාවුණ නව වසරේ ඔබ තුළිනුයි, ඔබ සතුට සෙවිය යුත්තේ. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට 2024 නව වසරේ සැලසුම් කළ, කාල සටහන් මුකුත්ම නැහැ. බාරගත් ධර්ම දේශනා මුකුත්ම නැහැ. භික්ෂුව ළඟ මේ මොහොතේ තිබෙන්නේ නිදහස පමණක්මයි. ජීවිතය හිස්ව තබාගෙනයි භික්ෂුව 2024 වසරට සේන්දු වුණේ. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට සැකයකින් තොරව විවෘතව කියන්න පුළුවන්, මේ ලැබුවා වූ 2024 නව වසර භික්ෂුවගේ ජීවිත කාලය පුරාවට ලැබූ සුබම, සුබ අවුරුද්දයි කියලා. පිංවත අතීත අකුසල් හේතුවෙන් උදා වූ වසරේ කිනම් පීඩාවන්, බාධාවන් පැමිණියත් තමා ඉදිරියට පැමිණෙන සෑම බාධාවක්ම සතුටින්මයි භික්ෂුව පිළිගන්නේ. පිංවත සතුට තිබෙන්නේ අවුරුද්ද තුළ නොවේ, තමා තුළයි. එම නිසා ලැබුවා වූ නව වසරට කොහෙත්ම පුළුවන්කමක් නැහැ භික්ෂුවට දුකක් දෙන්න. අපි බාහිර ලෝකයෙන් සතුට සොයන තාක්කල් අපි ළඟ ඉතිරි වෙන්නේ ඇලීම් සහ ගැටීම් පමණක්මයි.

පිංවත ගෙවීගිය 2023 වසරේ දී භික්ෂුව දුකක් නම් විඳලා නැහැ. භික්ෂුවගේම අතීත අකුසල් විපාකයන් නිසාම 2023 ගෙවීගිය වසරේ දී අහිමිවීම්, හැරයාම්, චෝදනා, විවේචන, කායික වෙහෙස, කායික රෝග ඕනෑ තරම් භික්ෂුවට තිබුණා. ඒ වගේමයි පැසසුම්, ප්‍රශංසා, සාදුකාර, සශ්‍රීක සිවුපසය ඕනෑතරම් භික්ෂුවට ලැබුණා, නමුත් මේ විපාකයට පැමිණි සෑම කුසල් සහ අකුසල් සංස්කාර ඉදිරියේදීම භික්ෂුව සුවපත් වේවා යැයි කියලා පමණක්මයි සිතුවේ. එම සුවපත් වේවා යැයි කියන චිත්තයත් ධම්මානුපස්සනාවෙන්ම පිරිසිදුකොට දකිත්දි, සැප සහ දුක් බැහැර වූ ධර්මයේ උපේක්ෂාවටමයි සිත නැවී යන්නේ. පිංවත චතුරාර්ය සත්‍යය කෙරෙහි සති සම්බොජ්ඣංගය යම් තැනක ද, දුකෙන් මිදීමේ එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දකින, පරම සත්‍යය එතැන තිබෙනවා. පිංවත ලෞකික ප්‍රඥාවේ කර්මය කර්මඵල විශ්වාසයට ජීවිතය බාර දුන්නහම, ජීවිතය ළඟ එකම ඉතිරිය වෙන්නේ ධර්මයේ උපේක්ෂාවමයි. පිංවත දුක් සහ සැප විනිවිද උපදින ධර්මයේ උපේක්ෂාවමයි, හුදෙක් දින තුන්සිය හැට පහක්ම වූ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් බවට පත්කොට දෙන්නේ. පිංවත ගෙවීගිය 2023 පරණ අවුරුද්ද ගෙවීගියේ භික්ෂුව විදර්ශනාමය උපේක්ෂා ධර්මයන්ගෙන් මහා ධනවතෙක් බවට පත්කරලයි. පිංවත භික්ෂුව විසින්ම උපයාගත් එම ධනවත්භාවය උපයෝගී කොටගෙන, උදාවුණ 2024 නව වසර පුරාවට භික්ෂුව විදර්ශනාත්මක උපේක්ෂා ධර්මයන්ගෙන් මහා දන්සලක් දෙනවා. භික්ෂුව තබන සටහනකින්, කතා කරන වචනයකින්, පවත්වන ඉරියව්වකින් පිංවත් ඔබට භික්ෂුව පූජා කරන උපේක්ෂා දන්සල, කැමැති පිංවතුන් සුවසේ සිහිනුවණින් වන්දනා කරගන්න. හැබැයි ඉතින් පිංවත් ඔබ භික්ෂුවගේ උපේක්ෂා දන්සල සතුටින් පිළිගත්තත්, විවේචනයන්ගෙන් ප්‍රතික්ෂේප කළත් භික්ෂුව පෙරළා තම ජීවිතයට එකතුකොට ගන්නේ, හේතුඵල ධර්මයන්ගේ ශක්තියෙන් විදර්ශනාමය උපේක්ෂා ධනයම බව කාරුණිකව තේරුම් ගන්න. පිංවත බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා කවදාකවත්, කාටවත්ම, ජයගන්න හෝ පරාජය කරන්න බැහැ. උන්වහන්සේලා ජය සහ පරාජය යන දෙකම ධර්මයේ උපේක්ෂාවෙන්ම, ධම්මානුපස්සනාවක් බවටමයි පෙරළා ගන්නේ. පිංවත, පිංවත් ඔබට භික්ෂුව මේ සටහන් තබන්නේ උදා වූ 2024 නව වසර සතුට ඔබට ලබාදෙනතෙක් බලා නොසිට, ඔබ තුළින් සතුට සොයා ගන්නා මාර්ගයයි.

ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයි

පිංවත ලෝකය කෙරෙහි දැක්ම පිරිසිදුකොට ගැනීමෙන් ජීවිතයට නිදහසක් දැනෙනවා. ඔබේ ජීවිතයට සැහැල්ලුවක් දැනෙනවා. මේ සියලු ධර්මතාවයෝ පෙරළා වේදනානුපස්සනාවම පෝෂණයකොට දෙනවා. පිංවත ජීවිතය සංස්කාරයන්ට අතහැරපු ධර්මයක් කොටගන්න. සංස්කාර පච්චයා විඤ්ඤාණං, එසේත් නැතිනම් ඵස්ස පච්චයා වේදනා, එසේත් නැතිනම් තෘෂ්ණා පච්චයා උපාදානං, මේ කිනම් ධර්මයක් තුළින් ජීවිතය දැක්කත්, මමත්වයේ බැඳීමක්මයි බිඳී යන්නේ. පිංවත මමත්වයේ බැඳීම තුළ මහා කෙලෙස් කිලුටක් තිබෙනවා. මෙම කෙලෙස් කිලිටිභාවය නිසාම, සංස්කාරයෝ අවිද්‍යාවෙන් විනිවිද දකින්න, විඤ්ඤාණය සංස්කාරයන්ගෙන් විනිවිද දකින්න ඉඩ දෙන්නේ නැහැ. පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය තුළින්, ඔහු දකින්නේ ආත්මීය දෘෂ්ටියමයි. පිංවත ආත්මීය දෘෂ්ටියේ කෙලෙස් රසය උපාදානයන්ට රසවත් ආහාරයක්මයි වෙන්නේ. පිංවත හොඳ කරන ලෝකය සහ නරක කරන ලෝකය වේදනානුපස්සනාවෙන්ම දකින්න. මනුෂ්‍ය සමාජය තුළ සකස්වෙන යහපත් සහ අයහපත් සිතුවිලි චිත්තානුපස්සනාවෙන්ම දකින්න. සමාජය තුළ උත්සන්න වෙන පංච නීවරණයෝ සහ සමාජය තුළ පසුබසින සප්ත බොජ්ඣංගයෝ ධම්මානුපස්සනාවෙන්ම දකින්න. මේ සියලු ධර්මතාවයන් වැඩීමට මුල්වෙන අධ්‍යාත්මික සහ බාහිර රූපයෝ කායානුපස්සනාවෙන්ම දකින්න. මේ සියලු දැකීම් ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන ධම්මානුපස්සනාවටම බාර දෙන්න. කෙලෙස් ගින්නෙන් දැවෙන ලෝකය තුළ, පිංවත් ඔබ නොදැවී, ලෝකයට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න.

පිංවත අදින් පස්සේ බිහිවෙන සමාජය ව්‍යාපාරික සමාජයක්. විකුණන්න පුළුවන් කුමක් ද ඒ සියල්ල විකිණෙන සමාජයක්. ඉතිහාසය, සදාචාරය, සංස්කෘතිය, අපේකම කුණුකොල්ලයට විකිණෙන සමාජයක්. පිංවත් තරුණ දරුවෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, ඉතිහාසයෙන් ඇති වැඩක් නැහැ, අනාගතයයි වටින්නේ කියලා. පිංවත ඉතිහාසය අමතක කරලා, අපි යන්න හදන මේ අනාගත ගමන, සමස්ත ජාතියම ණයකාරයින් කිරීමට යන ගමනක්. පිංවත ඉතිහාසයේ මේ පුණ්‍යවන්ත මාතෘභූමිය පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත්වූ ස්වයංපෝෂිතභාවය අපේ ජාතියට අමතක කළොත් පමණක්මයි, හාල් ඇටයේ පටන්, එළවළුව, මාළුව, බිත්තරය දක්වා පිටරටින් ගෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. අතීතයේ ජාතියක් හැටියට අපි ශ්‍රේෂ්ඨ වාරි කර්මාන්ත, විහාර චෛත්‍යය කර්මාන්ත, හැදූ ඉතිහාසය අපෙන් අමතක කොට දැම්මොත් පමණක්මයි, විදේශ රාජ්‍යයන්ට අපේ කාණුව බැඳීමේ කොන්ත්‍රාත්තුවත් ලබාගැනීමට හැකිවෙන්නේ. අපේ ජාතිය අතීතයේ, ලද දෙයින් සතුටු වී, අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින්, ලෝකයාට ණය නොවී ජීවත්වූ ඉතිහාසය අමතකකොට දැම්මොත් පමණක්මයි, ජාත්‍යන්තරයට හැකිවෙන්නේ අපිව බරපතල ණය උගුල්වල සිරකරුවන් කරවන්න. පිංවත අපේ ජාතිය ඉතිහාසයේ ආක්‍රමණික සතුරු බලමුළු වැර වීර්යයෙන් පරාජය කොට දැමුවාය කියන ජාතියේ වීරත්වය අමතක කොට දැම්මොත් පමණක්මයි, නව යටත්විජිතවාදී උපක්‍රමයන්ට අපිව යටපත් කොටගැනීමට හැකිවෙන්නේ. පිංවත ඉතිහාසයේ අපේ තරුණ තරුණියන් ලැජ්ජා බිය ඇතිව කුමර බඹසර, කුමරි බඹසර ආරක්ෂා කොටගෙන ජීවත් වුණාය කියන ඇත්ත ඉතිහාසය අමතකකොට දැම්මොත් පමණක්මයි, වර්තමානයේ පාසල් දරුවන් පවා අශීලාචාර ලිංගික වෙළඳපොළේදී නිදහසේ විකුණන්න ලැබෙන්නේ.

පිංවත අනාගතය හේතුඵල ධර්මයන්ට අදාළව උදාවෙන්න හැරලා, කරුණාකර ඉතිහාසය මතකයට ගන්න. ඉතිහාසය ඔබේ ලේ නහරවල දුවන රුධිරය බවට පත්කොට ගන්න. පිංවත අපේ කමෙන් පෝෂණය වූ ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයයි. මෙය සටහන් තබන භික්ෂුව ඉතිහාසය ගුරුවරයා කොටගත් භික්ෂුවක්. භික්ෂුවගේ අධ්‍යාත්මය තුළ අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් මොනවාට පෝෂණය වූ, ඉතිහාසය නිදන්ගත වෙලයි තිබෙන්නේ. ඉතිහාසයේ ගෞරවණීයව වැඩ සිටිය ආර්යයන් වහන්සේලාගේ, මහා සංඝරත්නයේ, ආර්ය ශීලය, සමාධිය, ප්‍රඥාව, ඥානදර්ශන, විමුක්තියේ ඉතිහාසය, මෙය සටහන් තබන භික්ෂුව අමතකකොට දැමුවා නම්, වර්තමානයේ භික්ෂුව, භික්ෂු ධර්මයන්ගෙන් අසාර්ථක වෙන්න හොඳටෝම ඉඩ තිබුණා. භික්ෂුවගේ වර්තමානයත්, අනාගතයත් පෝෂණය වෙන්නේ ඉතිහාසයේ පාඩම් පොත් තුළින්මයි. මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ, සංඝමිත්තා උත්තමාවියගේ සහ අතීතයේ ජාතිය එක්සේසත් කළ, අධ්‍යාත්මික සහ ආර්ථික ස්වයංපෝෂිතතාවය ඇතිකොටදුන් රාජ නාමාවලියේ ඉතිහාස කථාව, අපි අමතක කළොත්, ජාතියට අනාගතයේ ඉතිරිවෙන්නේ බංකොලොත් වහල්, ලැජ්ජා බිය අතුරුදන් වූ, අනාගතයක් පමණක්මයි.

පිංවත අපේ වර්තමාන ක්‍රියාකාරකම්, ලජ්ජාව, බිය, ආත්මගරුත්වය, අතුරුදන් වූ දින අනාගතයකටයි පාර පෙන්වන්නේ. පිංවත අවිද්‍යාව පංචනීවරණ ධර්මයෝ උපයෝගීකොටගෙන මුලින්ම විනාශකොට දමන්නේ තමාවයි. පිංවත තම තමන් විනාශ වූ කල්හි සියල්ලෝම විනාශ වුණා වෙනවා. පිංවත මේ උදාවුණ පුණ්‍යවන්ත 2024 නව වසර යළි ඉතිහාසයට පණදෙන වසරක් බවට පත්කොටගන්න. ජාතියේ පෞර්ෂත්වය, අධ්‍යාත්මික ශක්තිය, ස්වයංපෝෂිතභාවය මරාගෙන උපදින, ජාතියේ වහල්භාවයට, කම්මැලිකමට, කාමච්ඡන්දයන්ට, ණයකාර මානසිකත්වයට, සිහිනුවණින් පිළිතුරු සොයන්න.

පිංවත උගත් වෘත්තියවේදී තරුණ විවාහක දෙපලකට ප්‍රශ්නයක් ඇතිවෙලා. මේ දෙදෙනා පිනැති දරුවෙක් පිළිබඳව බලාපොරොත්තු ඇතිකොටගෙන, නෝනා මහත්මිය කියනවා, තමන් බලාපොරොත්තු වෙන පිනැති පිරිමි දරුවා පැවිදි කරනවාය කියලා. මහත්මයා කියනවා තමන් බලාපොරොත්තු වෙන පිනැති දරුවා පැවිදි කරන්නේ නැහැය කියලා. මේ හේතුව නිසාම දෙදෙනා අතර අහිංසක මතගැටුමක් ඇතිවෙලා. මහත්මයා ඇත්තටම සිතන්නේ පිරිමි දරුවෙක් ලැබුණොත්, තම බිරිඳ පිරිමි දරුවා පැවිදි කරයි කියලා. භික්ෂුව එම නෝනා ඉදිරියේදීම සිය මහත්මයාට මතක් කළේ, මහත්තයෝ, මහත්මයා තවමත් නෝනලා ගැන දන්නේ නැද්ද.. නෝනා ඔය කරන්නේ උපක්‍රමයක්. තමන්ට ලැබෙන පිරිමි දරුවා පැවිදි කරනවාය කියන චේතනාවෙන් ඇය බලාපොරොත්තු වෙන්නේ වඩාත්ම ගුණාත්මක, පිනැති දරු සම්පතක් අයිතිකොටගන්න. එම අවශ්‍යතාවය උදෙසා ඇය පැවිද්ද කියන අර්ථය යොදාගන්නවා. ඔබ දෙපළට අනාගතයේදී පිනැති පිරිමි දරුවෙක් ලැබුණොත්, කවදාකවත් ඔබගේ නෝනා මහත්මිය, එම දරුවා පැවිදි කරන්නේ නැහැය කියලා භික්ෂුව සිතනවා. තමන්ට පිනැති දරු සම්පතක් ලැබුණොත් එම දරුවා පැවිදි කරනවාය කියලා කියපු නෝනා මහත්වරුන් කිහිපදෙනෙක්ම අතීතයේ භික්ෂුවට මුණගැසිලා තිබෙනවා. නමුත් එම පිංවතුන්ලාට සුරතල් දරු පැටියෙක් ලැබුණාට පස්සේ, දරුවාගේ පැවිද්ද ගැන වචනයක්වත් කථා කරන්නේ නැහැ. පිංවත මේ හැසිරීම් සියල්ලම තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මයටයි අයිතිවෙන්නේ. පිංවත විඳීම් තීව්‍ර වෙද්දී තෘෂ්ණාව දෙගොඩතලා යනවා. එවිට බැඳීයෑම් හෙවත් උපාදානයෝ වෙනස්වෙලා යන්නේ, අපේ ප්‍රාර්ථනා උඩුයටිකුරු කරලයි. එවිට පැවිදිකිරීමේ බලාපොරොත්තුවෙන් බිහිකොටගත් තම පිනැති දරු පැටියා, අනාගතයේ සුන්දර මනමාලයෙක් වෙනවා දකින්නයි එම දෙමාපියන් කැමති වෙන්නේ. පිංවත පැවිදි කරනවා යැයි චේතනා ඇතිකොටගෙන ඔබලා දරු සම්පත් ලබාගෙන, එම දරුවා පැවිදි නොකරනවා නම්, කරුණාකර එම වැරදි ක්‍රියාව වෙනුවෙන් තමා තුළින්ම තමා කමා කරගන්න. එසේ නොවුණොත් සංසාරයේ ඔබට පැවිද්ද දුර්ලභ වෙන්න පුළුවන්.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment