වේදිකාවල මොන සුරංගනා කතා කීවත් රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් නැහැ

60

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතලේ සමගි රණවිරු සමුළුවේදී කියයි

මේ වන විට දේශපාලන නායකයින් වේදිකාවල සුරංගනා කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම් පෙන්වා දුන්නත් රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතලේ පැවැති සමගි රණවිරු සමුළුව අමතමිනි.

වේදිකාවල මොන සුරංගනා කතා කීවත් රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් නැහැ

76 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ රටට වැඩක් කළ එකම විපක්ෂයේ පක්ෂය සමගි ජන බලවේගය බවත් එබැවින් තවදුරටත් බොරුව මිරිඟුව පසුපස නොදුවන ලෙසත් එසේ වුවහොත් දැන් ඉන්න තැනටත් වඩා පහත් තැනකට වැටිය හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් රණවිරුවාට හිමි නිසි වටිනාකම ගෞරවය ලබාදෙන පාලනයක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා පැවසීය.

ආබාධිත රණවිරුවන් වයස 55 තෙක් පරිස්සමින් ජීවත් විය යුතු බවත් 55ට පෙර ජීවිතය අහිමි වුවහොත් කලත්‍රයාට හිමි අයිතිවාසිකම් නොලැබෙන බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ හඬ නැගූ අවස්ථාවේ රජයේ පාර්ශ්වය එය නිවැරදි කළා යැයි කිව්වත් මේ මොහොත වන තුරු එවැනි දෙයක් සිදු වී නොමැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ එය අහෝසි කරන බවත් හෙතෙම පැවසීය. රට වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළ රණවිරුවන් වෙනුවෙන් රජයෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල බවත් එය වහා වෙනස් විය යුතු බවත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් 34000ක් ලක්ෂ 30 බැගින් ලබාදී ගෙදර යවන්න රජය කටයුතු කරමින් සිටින බවත් රටේ මූල්‍ය ගැටලු‍ රැසක් තිබුණත් 30 වසරක යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන්න කටයුතු කළ රණවිරුවන් අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුද්ධය ක්‍රියාත්මක වූ කාලයේ මෙන්ම යුද්ධයෙන් පසු මුල් අවධියේ ඉහළ සැලකිල්ලක් රණවිරුවන්ට ලබාදුන් බවත් රණවිරු ප්‍රජාවට නොමිලේ ඉඩම් ලබා දෙන්න අඬබෙර ගසා ව්‍යාපෘතියක් ආරම්භ කළත් රණවිරුවන් ඉටු කළ සේවාව අමතක කර එම ඉඩම්වල නිවෙස් තනා ඇති රණවිරුවන්ට ඉඩමේ වටිනාකමට මුදල් ලබා දෙන්න කියා ලිපි ලැබෙන බවත් රටේම ජනතාවගේ ඉඩමේ අයිතිය තහවුරු කළ රණවිරුවා අමතක කළ නොහැකි බවත් මෙසේ නොමිලේ ලබාදුන් ඉඩම්වලට මුදල් අය කරගැනීම් ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම සමාජය තුළ හමුදාව අඩු කළ යුතු බවට මතයක් ප්‍රචාරය කරමින් යන බවත් රට බංකොලොත් කළේ රණවිරුවන් නොව ආර්ථික ත්‍රස්තවාදීන් බවත් එවැනි තීරණ ගැනීමට පෙර මෙම රණවිරු ප්‍රජාවට විකල්ප වෘත්තියක්, ආදායම් මාර්ගයක් ලබා දිය යුතු බවත් ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රට විවිධ රටවලට, බහුජාතික සමාගම්වල බලපෑමට නතුව රටේ න්‍යාය පත්‍රය සකස් කරන මොහොතක රට දැය බේරා ගත් රණවිරු ප්‍රජාව රැකගත යුතු බවත් විශ්‍රාම සුවයෙන් සිටින රණවිරු ප්‍රජාව පවා ව්‍යවසායකයන් බවට පත් කරන වැඩසටහනකට යොමු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වරීත්වය, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව තහවුරු කරන්න ඉමහත් ශක්තියක් ලබාදුන් රණවිරුවන්ගේ එකම බලාපොරොත්තුව, නිසි ගෞරවය හා පිළිගැනීම මෙන්ම ඉටු කළ වටිනා සේවාව අමතක නොකර සිටීම බවත් ඊට අදාළ ගෞරවය අප ලබාදිය යුතු බවත් රණවිරුවන්ට විශේෂිත සැලකිල්ලක් ලබාදෙන්න කටයුතු කළේ 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී බවත් එදවස සමාජ ගිවිසුමක් රණවිරුවන් සමඟ ඇති කර ගත් බවත් එය වඩාත් විධිමත්ව, ක්‍රමවත්ව හා සංවිධානශීලීව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක බවත් රටේ තිබූ ත්‍රස්තවාදී යුද්ධ 2න්ම විපතට පත් රණවිරුවන් වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙළක්ද දියත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා රණවිරු සේවා අධිකාරියක් පවතින බවත් මෙතෙක් කල් එමඟින් සිදු වූ සේවාව අගය කරන නමුත් මෙමඟින් රණවිරු සුබසාධනයට වැඩි බරක් නොලැබෙන නිසා ඇමෙරිකාවේ මෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර සියලු‍ම රණවිරුවන්ගේ සුබසාධනය වඩාත් ක්‍රමවත්ව නිශ්චිත දර්ශනයක් තුළ ඉලක්ක සහිතව කටයුතු කිරීම කටයුතු කරන බවත් එය රටේ අංක 1 ක්‍රියාවලියක් බවට පත් කරන බවත් ඒ සඳහා නව අණ පනත් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාතලේ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment