ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

90

ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆෙස් හෝටලයේ පැවති ‘අයිඑම්එෆ් සහ ඉන් ඔබ්බට’ සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ මෙම ප්‍රධාන විධායක නිලධාරී සාකච්ඡා මණ්ඩපය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, රජය ඒ සඳහා කැපවී සිටින බවත්ය.

සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මෙරට වැඩවසම් ආර්ථිකයක සිට වාණිජ ආර්ථිකයක් කරා වූ පළමුවන පරිවර්තනය සිදු කළේ බ්‍රිතාන්‍යයන් විසින්. එම වතු ආර්ථිකයේ ප්‍රථම ව්‍යාපාරය වූ කෝපි වගාව කඩා වැටුණා. ඉන්පසුව තේ, රබර්, පොල් සහ අනෙකුත් කර්මාන්ත සේවාත්, කොළඹ වරායත් විශාල පරිවර්තනයකට ලක් වුණා. මෙම සාකච්ඡා මණ්ඩපය පළමුව බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රශ්න සහ දෙවනු ශ්‍රී ලාංකිකයන් තම ප්‍රශ්න සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක සංකේතයක් බව කිව යුතුයි.

ඉතින් ඒ පරම්පරාව අවුරුදු 50කින් අලුත් ආර්ථිකයක් ඇති කළා. දැන් නිදහසින් පසු එම කාර්යය කරගෙන යාමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා. අපි කොතරම් හොඳින් එම කටයුතු කර තිබෙනවාද කියනවා නම් අද අපේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාව ජනගහනයෙන් 12.5% සිට 25% දක්වා වැඩි වී තිබෙනවා. එක ආහාර වේලක් මඟහැරෙන ජනතාවක් අද අපේ රටේ ඉන්නවා. ලක්ෂ 05කට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැසක් කඩාවැටීමේ අවධානමට ලක්ව සිටිනවා. මොකක්ද සිදු වුණේ? වගකිවයුත්තේ කවුද? අද අපි පත්ව සිටින තත්ත්වයට අපි සියලුදෙනාම වගකිව යුතු බව මතක තබා ගන්න.

දේශපාලනඥයන් වේවා, ව්‍යාපාරික ප්‍රජාව වේවා, ඒ වගේ වෘත්තිකයන්, වෘත්තීය සමිති , සිවිල් සමාජය, මාධ්‍ය , රාජ්‍ය පරිපාලකයන් අපි කිසිවෙකුට ඒ වගකීමෙන් බැහැර වෙන්න බැහැ. තවදුරටත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගතහොක් අප මෙම ගැටලුවේ දී සාර්ථකත්වයක් ලබා ගන්නේ නැහැ. මෙහිදී අපට වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පමණක් නොවෙයි. ඉන් ඔබ්බට සිදු කරන්නේ කුමක්ද යන්නයි වදගත් වන්නේ. අපි දැන් කළයුත්තේ මතු පරපුරට සෞභාග්‍යමත් සමාජයක ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමයි. රජය කටයුතු කරමින් සිටින්නේ ඒ සඳහායි.

අපගේ කාර්යභාරය වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොවෙයි. ආර්ථික වර්ධනය ඇති කිරීමත්, එය නව ගෝලීය ආර්ථිකය තුළ වර්ධනය කරමින් ඉදිරියට යාමටත් අප කැපවී සිටිනවා.

අපි මෙය ඉටු කිරීමට නම්, අපගේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව මතක තබා ගත යුතුයි. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි. ආර්ථික ප්‍රශ්නවලින් අපිට ජනවාර්ගික ප්‍රශ්නය වෙන්කොට සැලකිය නොහැකියි. අපි ඒ ප්‍රශ්න දෙකම විසඳාගත යුතුයි. මම ඒ ප්‍රශ්නය ගැන මේ මොහොතේ කටයුතු නොකරන්නේ, මේ ඒ සඳහා කාලය හෝ ස්ථානය නොවන නිසයි. කෙසේ වෙතත්, අපි ඒ පිළිබඳ තීරණය කළ යුතුයි.

දෙවනුව, මෙම තීරණාත්මක මොහොතේ අප අපගේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්නේ කෙසේද? කියා සොයා බැලිය යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන නිසා විවෘත සාකච්ඡා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන් ආදීන් මෙහි සිටීම ඉතා වැදගත්.

අපි මෙවැනි සාකච්ඡා සහ විවාද සිදු කළයුතුයි. ඒවා සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහ ඊට පහළින් ඇති සියලුම සාකච්ඡා ශාලාවල මිසක් වීදිවල නොවන බවත් මා සඳහන් කළයුතුයි. එවන් කලහකාරී තත්ත්වයන් සංවර්ධනය කරා යන අප වැනි රටකට තවදුරටත් ගැළපෙන්නේ නැහැ.

අපට සිදු කළ හැක්කේ නීතිය සහ සාමය සහතික කිරීම පමණයි. එසේ නොමැතිනම් මෙම කරුණු සාකච්ඡා කර විවාද කළ යුත්තේ කොතනද යන්න කියන එක තමයි දෙවන කාරණය. අප එතැන් සිට ඉදිරියට යා යුතුයි.

මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔබ සියලුදෙනා දන්නා පරිදි හා රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් කරුණුවලට අමතරව වෙනත් වැදගත් අරමුණු තිබෙනවා. එය සැලකිය යුතු ආදායම් පදනමක් ගෙන දෙන අතරම, ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආදායමේ දළ දේශීය නිෂ්පාදන අනුපාතය ඉහළ නංවනවා. මෙය ප්‍රගතිශීලි පියවරක් වන අතර අඩු ආදායම්ලාභී ජනතාව බදු බරින් නිදහස් කිරීමට එය ඉවහල් වනවා.

එම නිසා අප සිදු කළ යුත්තේ 2026 වන විට ආර්ථිකය ස්ථාවර කිරීම සහ 2019 තිබූ අනුපාතයට නැවත පැමිණීමයි. එය තමයි ගැටලුව. කෙසේ වෙතත් අයිඑම්එෆ් අනුමතවීමත් සමග ශ්‍රී ලංකාව පෞද්ගලික සහ නිල ණය හිමියන් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සීමාවන්ට අනුකූලව සහ මාර්තු 14 වැනි දින මගේ ලිපිය හරහා මා විසින් කර ඇති කැපවීම්වලට අනුකූලව සාකච්ඡා කළෙමු.

මාස හයක් තුළ විස්තීරණ ණය පහසුකම් යටතේ පළමු සමාලෝචනය සිදුවීමත් සමග ඔවුන්ගේ පොරොන්දු රැක ගැනීමටත් ණය හිමියන් සමග කේවල් කිරීමටත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ප්‍රතිලාභය රටට ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවට සිව් අවුරුදු ආර්ථික වැඩසටහන යටතේ කැපවීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වනු ඇතියි. එබැවින් අපට තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළ යුතුව ඇති අතර, විශේෂයෙන් අපගේ පුද්ගලික ණය හිමියන් සමග සාකච්ඡා කළයුතුව තිබෙනවා.

මෙතැන් සිට අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සිව් අවුරුදු වැඩසටහන පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ දරුවන්ට සහ තරුණ පරපුරට අනාගතයක් ගොඩනඟා දීමටනම් අප ඉදිරිය යා යුතුයි. අප ඉදිරියට යා යුතු වන්නේ අපගේ දිගුකාලීන ආයතන සහ ව්‍යුහාත්මක ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි. මොකද අද ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැඟීමට නම් අප මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු අතර එය ප්‍රතික්ෂේප කළහොත් තවදුරටත් පහළ මැදි ආදායම් ලබන රටක්ලෙස එකතැන පල්වීමට අපට සිදු වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment