සෑම හතරදෙනකුගෙන්ම එක් අයකුට ප්‍රෙෂර්- විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

278

ලුණු වැඩිපුර කෑමෙන් දියවැඩියාව වැඩි වෙලා- විශේෂඥ වෛද්‍ය උදය රළපනාව

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකු අධිරුධිර පීඩනයට ගොදුරුව සිටින බව කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කොළඹ වෛද්‍යපීඨයේ මහාචාර්ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

සෑම වසරක ම මැයි මස 17 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර අධිරුධිර පීඩන දිනය නිමිත්තෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පැවති අධිරුධිර පීඩනය වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී ඔහු එසේ පැවසීය.

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 60ට වැඩි පිරිසගෙන් සියයට 50ක් පමණ අධි රුධිර පීඩනයට ගොදුරුව සිටින බවද ඉන් පිරිමි සියයට 27.8ක් ද කාන්තාවන් සියයට 23.8ක් ද වන බව හෙතෙම සඳහන් කළේය.

එසේම නාගරික ජනතාවගෙන් සියයට 26.5ක් ද ග්‍රාමීය ජනතාවගෙන් සියයට 22.9ක් ද අධි රුධිර පීඩනයට ගොදුරුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී දේශනයක් පැවැත්වූ පේරාදෙණිය ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රළපනාව මහතා පැවසුවේ දියවැඩියාව රෝගයට ශ්‍රී ලාංකිකයන් බහුලව ගොදුරුවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දිනපතා අධික ලුණු ප්‍රමාණයක් ආහාරයට ගැනීම බවය. දිනකට එක් අයකු ආහාරයට ගතයුත්තේ ලුණු මේස හැන්දක් බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී මහාචාර්ය ගොඩ්වින් කොන්ස්ටින්ටයින් මහතා ද දේශනයක් පැවැත්වීය. මහාචාර්ය උපුල් සෙනරත්, මහාචාර්ය එරංග විජයරත්න, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment