ජනපති ගැන මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණයෙන් අද නියෝගයක්

511


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් බහා තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යාමට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබුණු අභියාචනයට අවසර ලබා ගැනීම සඳහා වන ඉල්ලීම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.

මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවන් වන නිශාන්ත හපුආරච්චි සහ රශ්මි සිංගප්පුලි යන මහත්වරුන් විසින් අද දින එම නියෝගය ප්‍රකාශයට පත්කරමින්, මෙම වන්දි නඩුකර සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 15 වන දින මීගමුව අතිරේක දිසා විනිසුරුතුමන් විසින් ලබාදුන් නියෝගය තවදුරටත් තහවුරු කරන ලදී.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර 182 ක 2වන විත්තිකරු ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර සිටි අතර, ඒ මහතා පසුගිය වසරේ මෙරට විධායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහුට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩුකර පමණක් ඔහු ජනාධිපති ධූරය දරන කාලයට අදාලව පමණක් බහා තැබීමට මීගමුව අතිරේක දිසා විනිසුරු විසින් පසුගිය දෙසම්බර් 15 වන දින නියෝග කරන ලදී.

වික්‍රමසිංහ මහතාගේ නඩු බහා තබන්නේ නම්, තමන්ට එරෙහි නඩුකර ද බහාතබන ලෙසට මෙම නඩුකර වල විත්තිකරුවන් ලෙස නම්කර සිටි මෛත්‍රීපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරුවරයාගේ ඉහත කී නියෝගය මඟින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව, මීගමුව අතිරේක දිසා විනිසුරුවරයාගේ එම නියෝගය අභියෝගයට ලක් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment