ශ්‍රී ලංකා “ඒ” සහ එංගලන්ත ලයන්ස් – තරගාවලියේ ජයග්‍රහණය සොයා

152

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර දෙවෙනි සහ අවසන් නොනිල සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (07 වැනිදා ) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී උදෑසන 10.00ට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා “ඒ” සහ එංගලන්ත ලයන්ස් - තරගාවලියේ ජයග්‍රහණය සොයා

මෙම තරගාවලිය පැවැත්වෙන අතරතුර අයිඑල්ටී ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ අතර එසේ යළි කැඳවන ලද ක්‍රීඩකයන් අතරින් චාමික කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් පැවැති පුහුණු තරගයේදී ශතකයක් ලැබූ ලසිත් කෲස්පුල්ලේ ද අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි වාර්තාවිණි.

චාමික කරුණාරත්න අද තරගයට එක් කර ගන්නේ නම් ඒ එළඹෙන නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී අවස්ථාවක් ලබා දීමට තරම් ඔහු සුදුසු ද යන්න මැන බැලීම පිණිස වේ.

එසේම වේග පන්දු යවන්නන් දෙදෙනකු වන විශ්ව ප්‍රනාන්දු සහ නිපුන් මාලිංගටද අද තරඟයේ දී අවස්ථාවක් හිමිවීමට ඉඩ ඇත.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන නිපුන් මාලිංග දකුණත් වේග පන්දු යවන්නෙකු වන අතර ඔහු 2019 වසරේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කර ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ මෙවර ශ්‍රී ලංකා සංචාරය සඳහා නිල නොලත් ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් වන අතර එහි පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ගෞරව අත් කර දෙමින් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේය.

ශ්‍රී ලංකා පිතිකරුවන් ලෙස නිශාන් මදුෂ්ක එම තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර නායක නිපුන් ධනංජය සහ ඕෂධ ප්‍රනාන්දු ද ශතක ලබා ගැනීමට සමත් වූහ.

තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඊයේ පුහුණුවීම්වල නිරත වූහ.

මෙම තරගාවලිය සඳහා පුහුණු තරගයක් ලෙස පැවැති ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම ජයග්‍රහණය ලැබීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment