ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට චීනයේ වෙන්සු ප්‍රදර්ශනයේදී උණුසුම් පිළිගැනීමක්

146

ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් 23 දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගිය 2 වැනි දින සිට 5 වැනි දින දක්වා චීනයේ තාක්ෂණික දැනුම ලබා ගැනීමේ සහ වෙළෙඳපොළ අධ්‍යයනය කිරීමේ වැඩසටහනකට සහභාගි වූහ. ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

චීනයේ සුප්‍රසිද්ධ ඩෝනර් ප්‍රදර්ශන සංවිධායක සමාගමේ ආරාධනයෙන් අන්තර් ජාතික වෙන්සු පාවහන් අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයට සහභාගි වීම සහ පාවහන් නිෂ්පාදන කර්මාන්තශාලා නිරීක්‍ෂණ චාරිකාවන් ද මෙම වැඩසටහනට අයත් විය. ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් බොහෝවිට තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපාංග සහ යන්ත්‍රෝපකරණ ලබා ගන්නේ චීනයෙනි. මෙහිදී ඔවුන්ට සුප්‍රසිද්ධ චීන පාවහන් නිෂ්පාදන සමාගම් වන රෙඩ් ඩ්‍රැගන් සහ සියුඩියැන් යන පාවහන් සමාගම් සහ සීජෑන් හුපාන් නිව් මැටීරියල් සමාගම යන සමාගම් වල කර්මාන්තශාලා නැරඹීමේ විරල අවස්ථාවක් ද හිමිවිය. සහභාගි වූ නියෝජිත පිරිසට නව ව්‍යාපාරික අවස්ථා රැසක් ද ලබා ගැනීමට හැකිවී ඇත. වෙන්සු නගරයේ ජනමාධ්‍ය සහ සමාජ ජාල ද ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට විශේෂ සැලකිල්ලක් ලබාදී තිබුණි.

මේ අවස්ථාවේදී වෙන්සු ප්‍රදර්ශනයට සහභාගි වූ ප්‍රදර්ශකයන් රැසක් 2024 වසරේ පෙබරවාරි මස 9-10 වැනිදා දක්වා BMICHහි පැවැත්වෙන වාර්ෂික පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයට ද සහභාගිවීමෙන් තම සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළහ. පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන සංගමයේ සභාපති පී. ජී. ඩී. නිමලසිරි මහතා මෙම නියෝජිත පිරිසේ මූලිකත්වය දැරීය.

advertistmentadvertistment
advertistmentadvertistment