සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියම වේ

405


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ලබන ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ ලබාදුන් නොතීසියට අනුව විත්ති පාර්ශ්වයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා වන ප්‍රවේශය ලබාදී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත්ය.

ඒ අනුව මෙම පැමිණිලි විභාගය සඳහා දින නියම කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

2022 අගෝස්තු 25 වනදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහෙස්ත්‍රාත්වරුන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට සනත් නිශාන්ත මහතාට එරෙහිව මෙම පැමිණිලි තුන ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment