සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්ට කරන දැනුම් දීමයි

145

ඇප මත මුදාහැරියේ සීතාවක නගර සභා ලේකම්වරියයි සීතාවක ප්‍රා. සභාවේ ලේකම් නොවේ

2023.08.01 වන දින දිවයින පුවත්පතේ “අත්අඩංගුවට ගත් සීතාවක ප්‍රාදේශීය සභා ලේකම් වහාම ඇපමත මුදාහැරීමට නියෝග” යන සිරස්තලය යටතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිඥ නිශෝධා අබේසිරිවර්ධන මහත්මිය අප පුවත්පතට එන්තරවාසියක් එවා තිබේ.

සිය සේවාදායකයා වන සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ උපදෙස් මත එම එන්තරවාසිය එවූ බවත් අප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය නිසා කිසි දිනෙක අත්අඩංගුවට පත්ව නොමැති සිය සේවාදායකයාගේ කීර්ති නාමයට, ප්‍රාදේශීය සභාවට සහ ඔහුගේ තනතුරට මෙන්ම, ඔහුට පෞද්ගලිකව ද දැඩි හානි සිදුවන බවත් එමගින් පෙන්වා දී ඇති පෙරකී නීතිඥවරිය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක වන්දියක් දින 14 ක් ඇතුළත ගෙවන ලෙසත් අපහට දැනුම් දී තිබේ.

එම ප්‍රවෘත්තියේ සීතාවක ප්‍රාදේශීය සභාව ලෙස සඳහන්ව ඇත්තේ ප්‍රමාද දෝෂයකින් වන අතර එය සීතාවක නගර සභාව ලෙස නිවැරදි විය යුතුය. එකී ප්‍රමාද දෝෂය නිසා යමෙකුට හෝ යම් ආයතනයකට යම්කිසි අගතියක් වූයේ නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව පළ කරමු. අත්වැරදීමක් නිසා නගර සභාව වෙනුවට ප්‍රාදේශීය සභාව ලෙස සඳහන් වී ඇතත් එය කිසිවකුට හෝ කිසිදු ආයතනයකට අගතියක් කිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් නොවන බව දැනුම්දීමට කැමැත්තෙමු.

එමෙන්ම එම නඩුවේ සැකකාරිය සභා ලේකම්වරියක බව ඇගේ නම ද සඳහන් කරමින් අප පෙන්වාදී තිබේ. අප වෙත එන්තරවාසිය ඒවා ඇත්තේ සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ උපදෙස් මත බවට එහි සඳහන්ව ඇතත් ප්‍රාදේශීය සභා ලේකම්වරයකු, එකී නඩු කටයුත්තට කිසිම ආකාරයකින් සම්බන්ධ බවට අප කිසිම ආකාරයකින් සඳහන් කර නැත. එබැවින් එකී ප්‍රවෘත්තිය මගින් ප්‍රාදේශීය සභාවේ හා එහි ලේකම්වරයාගේ තනතුරට හා ඔහුට පෞද්ගලිකවත් හානි සිදුවීම හා ඔහුගේ කීර්ති නාමයට හානි සිදුවූ බව පෙන්වාදී වන්දි ඉල්ලා සිටීම පුදුම සහගතය.

අත්වැරදීමකින් නගර සභාව වෙනුවට ප්‍රාදේශීය සභාව ලෙස එම ප්‍රවෘත්තියේ සඳහන්ව ඇති ප්‍රවෘත්තියට පාදක වී ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශකයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දෝෂාරෝපණය කර සැකකාරිය මුදාහැරීමට නියෝග කිරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment