පැතුම් කර්නර් අත්අඩංගුවට

319

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැති විරෝධතාව මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නමැත්තා ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් 18 වැනිදා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් දහතුන් වැනිදා පැතුම් කර්නර් නමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර තිබිණි.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි.

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත් 17 වැනිදා ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment