සෞඛ්‍ය ලොක්කෝ ඔමික්‍රෝන්ලාට දොර ඇරලා: රවි කුමුදේශ් චෝදනා කරයි

147

‘කොවිඞ්’ මර්දනය සඳහා අනුමත එන්නත් ලබාගත් පුද්ගලයන් කිසිදු පරීක්ෂණයකින් තොරව රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබ ඇති අත්තනෝමතික තීරණය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි නව ප‍්‍රභේද රටට ඇතුළුවීමට ඉඩ සලස්වා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ දී හඳුනා ගැනුණු පළමු ඔමික්‍රෝන් ආසාදිතයා කිසිදු එන්නතක් ලබා නොගෙන රටින් පිටවී ඇති බවත් ඔමික්‍රෝන් ආසාදිතව යළි රටට ඇතුළු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම පසුගිය 9 වැනිදා රටට ඇතුළු වී ඇති ඉන්දියානු ජාතිකයකු 11 වැනිදා නැවත පිටත් වීමේදී සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු බව තහවුරු කර තිබියදී ඔහු ඉන්දියාවට පිටව ගොස් ඇති බව වසංගත රෝග අංශයේ ප‍්‍රධානියා විසින් මාධ්‍යයට වාර්තා කර ඇතැයි ද කීවේය.

එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද වැඩිහිටි පුද්ගලයන්ට රටෙන් පිටව යෑමේ හෝ රටට ඇතුළු වීමේ නීත්‍යානූකූල ක‍්‍රමවේදයක් නොමැති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින නීතියට පිටින් යම්කිසි පාර්ශ්වයකට එවැනි ඉඩකඩක් ලබා දී ඇති බව මෙමඟින් තහවුරු වන බවත් ඒ හරහා ඔමික්‍රෝන් වැනි නව ප‍්‍රභේද රටට ඇතුළු වෙමින් රටේ මහජනතාව අනවශ්‍ය අවදානමකට ලක් කොට ඇති බවත් රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment