2025 අවුරුද්ද ලබද්දී පාතාලයයි මත් කුඩුයි දෙකම මෙරටින් තුරන් කරනවා – පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්

529

පාතාලයේ තිබෙන දරුණුකම මේ ප්‍රදේශයේ අයට දැනෙන්නෙ නෑ. ඒක සමහර ප්‍රදේශවලට තදින්ම දැනෙනවා. දකුණ සහ බස්නාහිර පළාත්වවලට තදින්ම දැනෙනවා. මිනිස්සුන්ට මහ පාරේ බැහැලා යන්න බැරිතරමට සමහර ප්‍රදේශවල පාතාලය උඩට ඇවිත් තිබෙනවා යැයි පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කුරුණෑගල දී පැවසීය.

කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල තාත්තයි, අම්මයි දෙන්නම මත්ද්‍රව්‍ය පාවිචි කරන ගෙවල් තිබෙනවා. අවුරුදු පහළොවේ දහසයේ ළමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් වගේ ප්‍රදේශවල තට්ටු නිවාසවල ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිතය ඒකයි. මා ඒ තත්වය වෙනස් කිරීම සඳහා දැවැන්ත ක්‍රියාවලියක් දෙසැම්බර් මාසයේ 17 ආරම්භ කළා. මේ රටේ යුක්තිගරුක නීතිගරුක පුරවැසියන්ගෙන් සියයට අනුනවයක්ම ඒ සමග ඉන්නවා. ඒ සඳහා ගෞරවණීය මහා සංඝරත්නය සියයට සීයක්ම යුක්තියේ මෙහෙයුම අගය කරනවා. කුඩුකාරයින්ගෙන් පාතාලයෙන් සල්ලි ලැබෙන සුළු පිරිසක් මේවට විරුද්ධව කෑගහනවා. අපි මේ බලවේගවලට හිසනමනවා නෙමෙයි. මේ රටේ මත්කුඩුයි – පාතාලයයි 2025 අවුරුද්ද ලබද්දී මේ රටේ මිනිස්සුන්ගේ මනසින් ඉවත්කරනවා.

පොලිස්පතිවරයා මෙසේ කියා සිටියේ කුරුණෑගල පොලිස් කලාපයේ කුඹුක්ගැටේ ප්‍රදේශවාසී ජනතාවගේ ශ්‍රමය ධනය ශක්තිය වැයකර රජයේ ප්‍රතිපාදන නොමැතිව කෝටි ගණනාවක් වටිනා ඉඩමක් සහ මහල් දෙකක් සහිත අංග සම්පූර්ණ ‘සෙනහසේ පොලිසිය’ පොලිස් දෙපාර්තමේන්තුවට පවරාගෙන ජනතා අයිතියට පැවරීමෙන් පසු පැමිණ සිටි ජනතාව අමතමින්ය.

ඉකුත් 20 දින කුඹුක්ගැටේ කසාගල පුදභූමියේ පැවති මෙම ඓතිහාසික සිදුවීමේ පුරෝගාමියෙකු මෙන්ම කෝටි ගණනාවක වටිනාකමක් සහිත විහාරස්ථානයට අයත් ඉඩම පරිත්‍යාග කළ කසාගල රාජමහා විහාරාධිපති ඉහළ දොළොස් හත්පත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මැල්සිරිපුර චන්ද්‍රරත්න නායක හිමිපාණන් වහන්සේ ඇතුළුව පූජ්‍ය ගස්සන් දළුපොත රතනජෝති නායක හිමියන්, පූජ්‍ය අටමුනේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍ය ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩමකර සිටියහ. කසාගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මැල්සිරිපුර විමලරත්න හිමියන් සහ වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන අබේසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවේ අදහස් දැක්වීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment