ගීතයේ සිත්තරාණෝ – ‘අජන්තා ගී ආවර්ජනා’

238

ඔබගේ කලාවයි
යුගයෙන් යුගයෙහි
මේ ශේෂ වන්නේ…..

ආචාර්ය අජන්තා රණසිංහයන් දිවියෙන් සමුගෙන වසර 07ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මාර්තු මස 02 වැනි දින (අද) ප.ව. 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආචාර්ය අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව සහ අජන්තා ගී ආවර්ජනා නමින් උත්සවයක් සහ ඔහුගේ ගී නිර්මාණ ඇතුළුත් කෘතීන් දෙකක් එළිදැක්වීමටද නියමිතය.

රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත්කුමාර රණසිංහ යැයි කියූ පමණින් කිසිවකුත් නොහඳුන එහෙත්, අජන්තා රණසිංහ යැයි කියූ පමණින් නොහඳුනන කෙනෙක් නැති ඔහු 1940 මැයි 30 වන දින කුරුණෑගල තලම්මහර නම් පිටිසර ග්‍රාමයේ දී මෙලොව එළිය දකින්නේ සුභාවිත සිංහල ගීතය පෝෂණය කිරීම සඳහා වන ප්‍රතිභා ශක්තිය ද මිට මොළවාගෙන ය. වසර හැත්තෑහයක සිය දිවි සැරිය තුළ ඔහු විසින් විරචිත මියුරු ගීතාවලිය ඒ බව අපට මැනවින් සනාථ කොට තිබේ.

වසර හතළිහක් තරම් දීර්ඝ ඔහුගේ නිර්මාණ ජීවිතයේ දී ඔහු සිනමාපට හැටකට පමණ ගීත රචනයෙන් දායක වී ඇති අතර, එදා මෙදා තුර ඔහු විසින් විරචිත ගීත සංඛ්‍යාව ගීත හයසියයකට අධික ය.

පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කුඩා අජන්තා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. තරුණවියට පත් අජන්තා රණසිංහ විවාපත් වූයේ ද සංගීත පවුලකට අයත් සුන්දර යුවතියක සමඟ ය. ඒ, එවක අතිශය ජනාදරයට පත් ගායිකාවක වූ කෝකිලදේවී වීරතුංගගේ දියණියක වන සරෝජනී වීරතුංග සමඟ ය.

අජන්තා රණසිංහයන් ගීත රචනා කලාව ආරම්භ කරන්නේ එවකට කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලියට නිෂ්පාදනය කළ ළමා මණ්ඩපයට බොදු බැති ගීයක් රචනා කරමිනි. ඒ වකවානුවේ දී ම ඔහු ප්‍රවීණ සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ගුවන්විදුලියට නිෂ්පාදනය කළ ‘රේඩියෝ සඟරාව’ට ද සහභාගී වී තිබේ.

අජන්තා රණසිංහයන් අප හඳුනාගෙන සිටින්නේ ගීත රචකයකු ලෙස ය. එහෙත්, ඔහු කවියකු, කෙටිකතාකරුවකු, පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ ක්‍ෂේත්‍රවල නියැලෙමින් දස්කම් විස්කම් පෑ කලාකරුවෙකි. ‘හොඳ ගීත රචකයකු වීමට පෙර හොඳ කවියකු විය යුතු ය’ යන කියමන සනාථ කරමින් මුල් කාලයේ සිට ම කාව්‍යකරණයේ නියැලුණු ඔහු සිය ප්‍රථම කවි සරණිය ‘තිවංක රේඛා’ නමින් එළි දක්වන්නේ 1964 වසරේ දී ය.

ඊට අමතරව ඔහු ‘සිළුමිණ’, ‘පෙරමුණ’ වැනි පුවත්පත්වල ළමා අතිරේක සඳහා කවි, කෙටිකතා සම්පාදනය කරමින් මෙරට ළමා පරපුර සාහිත්‍ය රසාස්වාදයෙන් ඥානනය කළේ ය. ඒ අතර ඔහුගේ කවි ‘සිළුමිණ’, ‘වනිතා විත්ති’, ‘ලංකාදීප’ වැනි පුවත්පත්වල ද නිතර ම පාහේ පළවී ය.

ඔහුගේ පුවත්පත් කලා ජීවිතය ආරම්භ වූයේ, ඔහු ‘දිනමිණ’ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස තෝරාගැනීමත් සමඟ ය. ඉන්පසු එහි උප කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, අතිරේක ප්‍රධාන උප කර්තෘ, ප්‍රධාන උප කර්තෘ, විශේෂාංග කර්තෘ ලෙස උසස්වීම් ලද ඔහු, අවසානයේ ‘නවයුගය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවී ය.

ඔහු මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් සඳහා ගීත රචනා කිරීම ආරම්භ කරන්නේ පුවත්පත් කලා ජීවිතයෙන් වසර තිහකට පමණ පසුව ය. ඔහු එසේ රචනා කළ ගීත රසිකයන් අතර බෙහෙවින් ජනාදරයට පත් වූ අතර, ‘සරසවි’, ‘ධක්‍ෂක්‍’, ‘රාජ්‍ය සාහිත්‍ය’, ‘රයිගම්’, ‘සුමති’ සහ ‘කුමාරතුංග මුනිදාස අනුස්මරණ’ ආදී මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබී ය. කෘතහස්ත ගීත රචකයකු ලෙස ප්‍රකට අජන්තා රණසිංහයන් ගුවන්විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායකයකු බව බොහෝදෙනෙක් නොදනිති.

1976 වසරේ තිරගත වූ ‘වාසනා’ සිනමාපටයෙන් ආරම්භ වූ ඔහුගේ සිංහල චිත්‍රපට ගීතාවලිය චිත්‍රපට තුන්සියයක් පමණ දක්වා විහිද ගියේ ය. ‘වල්මත් වූවෝ’ (1976), ‘දුහුළු මලක්’ (1976), ‘ආශා’ (1976), ‘හරියට හරි’ (1976), ‘නෑදෑයෝ’ (1976), ‘පෙම්බර මදූ’ (1977), ‘ඇගේ ආදර කතාව ’(1977) ‘ජනක සහ මංජු’(1978), ‘සාරා’(1978), ‘දීපාංජලී’(1978), ‘සසර’(1978),‘ගැහැණියක්’(1979) ‘අමල් බිසෝ’(1979), ‘මුවන්පැලැස්ස’(1979), ‘වසන්තයේ කුණාටුවක්’(2001), ‘කුමරි බඹසර හැඬූ දා’(2001), ‘සීතල ගිනිකඳු’(2002), ‘මඟුල් සක්වල’(2002), ‘වෑලා ඉන් ලන්ඩන්’(2003), ‘සුදුසළු’(2003), ‘සුමේධා’(2004), ‘ලෙෆ්ට් රයිට් සර්’(2004), ‘ප්‍රේමවන්තයෝ’(2004) ‘සඳුනි’(2005), ‘අළු යට ගිනි’(2005), ‘එක මලක පෙති’(2006), ‘නිලම්බරේ’(2006), ‘රණහංසි’(2006), ‘රන් කෙවිට’(2007), ‘ෆස්ට් ලව් පූජා’(2007), ‘වැඩ බැරි ටාසන් මැති සබයට’(2008), ‘පිටසක්වල කුමාරයයි පැංචො හතයි’(2008), ‘ඇයි ඔබ තනිවෙලා’(2008), ‘අලි සුරතල්’(2009), ‘ජූලියා’(2009), ‘කන්‍යාවී’(2009), ‘වස්සානයක සෙනෙහස’(2012), ‘රාස්ස කැලේ’(2014), ‘සංජනා’(2015), ‘ආත්ම වරුසා’(2015) යන සිනමාපට ඒ අතර වේ.

‘තිවංක රේඛා’ කුළුඳුල් කවි සරණියෙන් ආරම්භ වූ ග්‍රන්ථකරණය පිළිබඳ ඔහුගේ ශක්‍යතාව ‘තුන්පත් රටා’, ‘ජනකාන්තයින්ගේ මනකාන්ත කතා’, ‘ළඳුනි මට වරම් නැත’, ‘වින්කල් බාස්’, ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව !’, ‘සිහින කුමරා සහ ඔතාමෝ’ වැනි කෘති රැසක් දක්වා විහිද ගියේ ය.

පරම්පරා කිහිපයක ගායක ගායිකාවන් රැසක් සඳහා ගීත රචනා හාරසිය ගණනක් පමණ වෙනුවෙන් සිය ගී උල්පත අවදි කර ඇති ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ ගී රචනා තවත් චිරාත්කාලයක් සුභාවිත සිංහල ගීතයට ආදරය කරන රසික ජන මන පුබුදුවන බව අපට දිනෙන් දින තහවුරුවන්නේ ඔහු අප හැරගොස් අට වසරක් ගෙවී ගොස් ඇතත්, ඔහුගේ රසිකයන් තවමත් ඔහු බුහුමනට පාත්‍ර කරමින් සිටින හෙයිනි.

එවන් අපූරු සද්කාර්යයක් ‘ආචාර්ය අජන්තා රණසිංහ ගී නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව’ යන මැයෙන් ලබන මාර්තු 02 සවස 03 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. ‘අජන්තා ගී ආවර්ජනා’ ලෙසින් නම්කර ඇති එහි දී ප්‍රවීණ සාහිත්‍යවේදී සමුද්‍ර වෙත්තසිංහයන් විසින් සංස්කරණය කරන ලද ‘රුවන් වලා විමානේ’ සහ ‘අජන්තා රණසිංහ ගීත කෘති එකතුව’ නමැති කෘතිද්වය එළිදැක්වේ.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, දිලීප අබේසේකර සහ ධම්මික බණ්ඩාරගේ කෙටි දෙසුම්වලින් සැරසෙන මෙහි පූර්විකාව සමුද්‍ර වෙත්තසිංහගෙනි. කලාසූරී ලතා වල්පොල, ආචාර්ය දයාරත්න රණතුංග, ටී.එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ජානක වික්‍රමසිංහ, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, විශාරද සමිතා මුදුන්කොටුව, විශාරද ජගත් වික්‍රමසිංහ, රංජන අමරදේව, චන්දන ලියනාරච්චි, මරියෙසෙල් ගුණතිලක, දයාන් විතාරණ, රිද්ම වීරවර්ධන ගීත ගායනයෙන් දායක වෙති.

මෙහි දී සුගැයෙන ‘අවිරාම ගී පෙළ’ චිරාත් වීරසිංහ, නිලන්ත නිමල්සිරි, විශාරද දේශානි විතානගේ, විහඟ විජේසේකර, හේමාල් කුරුවිටආරච්චි යන ගායක ගායිකාවන්ගෙන් හැඩගැන්වේ. විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයෙන් රසවත් වන ‘අජන්තා ගී ආවර්ජනා’ මියුරු සුයාමය මෙහෙයවනු ලබන්නේ ආචාර්ය රංග කලංසූරිය විසිනි.

මෙම සොඳුරු සුයාමයට සහභාගි වන මෙන් අජන්තා රණසිංහයන්ගේ සුමියුරු ගීතවලට පෙම්බඳින සහෘද ඔබට ‘අජන්තා රණසිංහ පදනම’ විවෘත ආරාධනයක් කර සිටි.

● අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment