අකුණුසැර වැදී ඉස්තෝප්පුවේ සිටි පාසල් සිසුවා මරුට

290

තම නිවසේ ඉස්තෝප්පුවේ සිටියදී පෙරේදා (22 දා) සවස හයට පමණ අකුණු සැර වැදී ගල්පාත, බටගොඩ ප්‍රදේශයේ පහළොස් හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ, ගහල වතුගොඩ පාරේ අංක 123 දරන ලිපිනයේ පදිංචිව සිටි කුලසූරියගේ අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකි.

ඔහු හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ දහවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීය. එම ප්‍රදේශයට පෙරේදා සවස සිට අඛණ්ඩවම දැඩි වර්ෂාවක් සහ අකුණු සහිත තත්ත්වයක් පැවති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මියගිය අනූෂ ගිම්හාන් දරුවා පාසල නිමවී නිවසට පැමිණි පසු පස්වරු හතට නියමිත උපකාරක පන්තියකට යෑමට සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබිණි.

කෙසේ වෙතත් අකුණුසැර වැදීම නිසා දරුවාගේ කිසිදු පිළිස්සුම් තුවාලයක් නොමැති බවත්, ඉක්මනින්ම දරුවා ගල්පාත රෝහල වෙත ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කළත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව අඟුරුවාතොට පොලිසිය වැඩිදුරටත් පවසයි.

දරුවාගේ මෘත ශරීරය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (23 දා) උදෑසන හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආනන්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න සහ ගල්පාත චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment