අපට දේශපාලන නිදහසක් ලැබුණත් ආර්ථික නිදහසක් තවමත් ලැබී නෑ – මහාචාර්ය තිස්ස විතාරණ

66

1948 දේශපාලන නිදහසක් ලැබුණද ආර්ථික නිදහසක් තවමත් ලැබී නැතැයිද වත්මන් රජය නොබැඳි බවෙන් ඈත්වී ඇමෙරිකානු ගැති බවකට රට ගෙන යමින් සිටින බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

අප රටේ ඉඩම් හා දේශීය ආර්ථීකය සූරාකෑමට විදේශ රටවලට ඉඩනොදී සැබෑ ජාතික ආර්ථිකයක් ගොඩනගා ගනිමින් අපේ අවශ්‍යතා රට තුළම නිෂ්පාදනයට දිරි ගැන්වීම කළ යුතු බවද විතාරණ මහතා අවධාරණය කරයි.

1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලබා ගත්තද බි්‍රතාන්‍ය රජය යටතේ පැවති රට මුදවා ගැනීමට ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි වැනි ලසසප නායකයන් සටන් කොට සිරබත් කෑවේය. අවසානයේ 1972 මැයි 2 ජනරජයක් බවට රට පත් කරලීම දක්වා ලසසප නායකයන් තම මෙහෙවර ඉටු කළේය. ධනේශ්වර ක්‍රමය බි්‍රතාන්‍ය පාලන සමයේ දී ඔවුන් විසින් පාලනය කරන ලද ආර්ථිකයක් යටතේ වර්ධනය විය. උදා : තේ සහ රබර් වැනි වානිජ බෝග ප්‍රධාන වශයෙන් බි්‍රතාන්‍ය ධනේශ්වර පන්තිය සතු වන අතර ආහාරබෝග සහ කුඩා කර්මාන්ත දේශීය ධනේශ්වර පන්තිය විසින් කනිෂ්ඨ හවුල්කරුවන් ලෙස දරයි. වතුකරයට ශ්‍රමය ඉන්දියාවෙන් ආනයනය කෙරිණී. දේශීය කම්කරු පන්තිය ද ක්‍රමයෙන් ව්‍යාප්ත විය. කම්කරු නීති මගින් කම්කරුවන්ගේ

අයිතීන් ආරක්ෂා කර සාධාරණ වැටුප් දිනාගත් ශක්තිමත් කම්කරු පන්තියක වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලසසප වර්ධනය කළේය. අවාසනාවකට ශ්‍රම බඳවා ගැනීම් සඳහා සීමිත කාලසීමාවේ කොන්ත්‍රාත් ක්‍රමය හඳුන්වා දීමෙන් දැන් වෘත්තිය සමිතිවල බලය හෑල්ලුකර ශ්‍රම සූරාකෑම වැඩිවී ඇත. මෙය අහෝසි කර රැකියාවේ සුරක්ෂිතතාව තහවුරු කළ යුතුයි.

ආචාර්ය එන්. එම්. පෙරේරා එදා ආර්ථික අර්බුදයෙන් (ඔපෙක් සංවිධානය ඛනිජ තෙල් මිල 7 ගුණයකින් ඉහළ දැමූ විට) ජයගත් ආකාරය මෙන්ම පාලනයකින් තොරව වෙළෙඳුන්ට මිල ඉහළ දැමීමට ඉඩ දීමේ ධනේශ්වර රජයේ ප්‍රතිපත්තිය නව රජය විසින් ආර්ථිකය තුලනය කර නියාමනය කළ යුතුය. නිසි නිෂ්පාදක සහ පාරිභෝගික සමුපකාර, ආහාර සහ අලෙවි දෙපාර්තමේන්තු යථා තත්ත්වයට පත් කිරීමෙන් අතරමැදි සූරාකෑම නැවැත්විය හැකිය.

මෙහිදී අපගේම අමුද්‍රව්‍ය මත පදනම් වූ වටිනාකම් සහ අතිරේක කර්මාන්ත සංවර්ධනය අත්‍යවශ්‍ය වේ. අපට දේශපාලන නිදහස ලැබුණත් ආර්ථික නිදහසක් ලැබී නැති අතර ඒ සඳහා සමසමාජය අනෙකුත් සියලුම ප්‍රගතිශීලි දේශපාලන පක්‍ෂ හා වෘත්තිය සමිති සමග එකතු වන්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment