2030 දී නිකුත් කරන නයිට‍්‍රජන් අපද්‍රව්‍ය ප‍්‍රමාණය අඩකින් අඩුකිරීම ශ‍්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි

184
  • ‘දේශගුණික ක‍්‍රියාවලිය වර්ධනය කිරීම’ පිළිබඳ රාජ්‍ය නායක සංසදය අමතමින්

     තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ

     ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

     ජනාධිපතිවරයා එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහිඞ් මහතා විසින් ඊයේ (27 දා) කැඳවා තිබූ මිනිසා, පාථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් දේශගුණික ක‍්‍රියාවලිය වර්ධනය කිරීම මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදයට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එක්වෙමිනි.

     නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එක්වූහ.

     දේශගුණික ප‍්‍රමුඛතා ආමන්ත‍්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඞ් 19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට

     ගනිමින් ‘මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක‍්‍රියාකාරී සැලැස්මක්’ ඉදිරිපත් කරලීමට සභාපතිවරයා විසින් මෙම ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.

     සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කරලීමට ඔවුන්ගේ කැපකිරීම ඉටුකළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය. අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකය. ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුය. ජාත්‍යන්තර වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම නායකයකු වීම පිළිබඳව ශ‍්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප‍්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක‍්‍රියාකාරී කණ්ඩායමට ද ශ‍්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.

     තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ කරයි. ශ‍්‍රී ලංකාවේ දේශීය ප‍්‍රතිපත්ති රාමුව, තිරසරභාවය කෙරෙහි අවධානය යොමුකර ඇති බවට තමා සහතික වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙය බලපැවැත්වීම සඳහා කෘත‍්‍රිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ‍්‍රී ලංකාව පියවර ගත් අතර එමගින් සෞඛ්‍ය ගැටලූ විසඳාගැනීමට මෙන්ම නයිට‍්‍රජන් අපද්‍රව්‍ය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව ද කීවේය.

     2050 වන විට ශ‍්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර, වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටී. මෙම ප‍්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කරගනු පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත‍්‍රය සඳහා තාක්‍ෂණික හුවමාරුව, කුසලතා සංවර්ධනය ආයෝජන සහ මූල්‍ය ආධාර යන ක්‍ෂේත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහාය සතුටින් පිළිගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

     වර්තමානයේ පවතින හා අවශ්‍ය තාක්‍ෂණික නිපුණතා සහ මූල්‍ය හැකියාවන් අතර පරතරය කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමුකෙරුණු අතර එම පරතරය සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සංවාදයට ලක්විය.
advertistmentadvertistment
advertistmentadvertistment