අපනයන ලැබීම් රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ – ශ්‍රී ලංකා මහ බැංකුව

151

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් රටට ලැබෙන සේවා අපනයන ලැබීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද මෙම අනිවාර්ය අවශ්‍යතාව ඉකුත් අගෝස්තු 12 වන දින හෝ ඉන් පසුව සිට ඉවත් කර ඇත.

සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි ය. සේවාව ලබා දුන් දින සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතී.

බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළ දී සේවා අපනයන ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ඇත. 2022 මාර්තු මාසයේ දී, ඉහළ ම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණි. සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කරන ලද බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment