අකුරු කොටා ඓතිහාසික බෝගෙඩ පාලමේ උරුමය වනසයි

483

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස ඉතා වැදගත් හාලිඇල ඓතිහාසික බෝගොඩ පාලමේ දැව ඇඳි මත අකුරු කොටා බරපතල හානියක් කර ඇත.

බෝගෝඩ ගම හරහා ගලන ලොග්ගල් ඔය හරහා ඉදිකර ඇති මෙම පාලම දඹදෙණි රාජධානි යුගයට අයත් (ක්‍රි.ව. 1220-1345) එකකි.

වහලක් සහිතව ඉදිකර ඇති මෙම පාලම ‘බෝගොඩ පාලම’ ලෙස දෙස් විදෙස් පුරා සුපතලය. මෙය දැනට දිවයින තුළ හමුවන පැරැණිතම ලී පාලමයි. එය ඉදිකිරීම් සඳහා කොස්, කුඹුක්, කළුවර, මිල්ල යන දැව වර්ග භාවිතා කර ඇත.

ඌව පළාතේ වටිනා ස්ථාන දැක බලා ගැනීමට එන දෙස් විදෙස් ජනයාගේ නොවරදින ගමනාන්තයක් වන මෙකී ස්ථානය තවදුරටත් පැවැති තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට අදාළ වගකිව යුතු ආයතනයන්ගේ වගකීම බව සංචාරක පිරිස් පෙනවා දෙති.

1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ අර්ථ නිරූපණය පරිදි “පුරාවිද්‍යාත්මක උරුමය”ක් වූ මෙම බෝගොඩ පාලම තවත් දිගු කාලයක් යථා තත්ත්වයෙන් ආරක්ෂා කර ගත යුතුව ඇත. එය අදාළ රාජ්‍ය ආයතනවල වගකීමයි.

බදුල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා මෙකී ස්ථානය පිළිබඳව මෙසේ ප්‍රකාශ කර සිටියි.

අකුරු කොටා ඓතිහාසික බෝගෙඩ පාලමේ උරුමය වනසයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල

හාලිඇල පොලිස් වසමට අයත් මෙම පාලමේ සහ එය පිහිටි රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට රාත්‍රි කාලයේ දී පමණක් පොලිස් ආරක්ෂාවක් පවතිනවා. එය හුදෙක් නිධන් හොරුන්ගෙන් බෝගොඩ රජ මහා විහාරස්ථානය ඇතුළු මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහාය.

එහෙත් මෙම ඓතිහාසික පාලම සඳහා සතුටුදායක ආරක්ෂාවක් නොමැති බව දුටුවෙමි.

මෙම ස්ථානයේ මා සිටින අවස්ථාවේදී පවා අමනෝඥ තරුණ පිරිසකගේ වගකීම් විරහිත හැසිරීම දුටුවෙමි.

මෙම පාලමේ ඇන්ද මත විවිධ නම් කොටා හානි පමුණුවා ඇති ආකාරය ද දුටුවෙමි.

අප පොලිස් ස්ථාන තුළ නිලධාරි හිඟයක් ඇති අතර පොලිසියේ රාජකාරි පරාසය ඉතා පුළුල් එකකි.

අපගේ විෂය පථයට ඇතැම්විට ඍජු සම්බන්ධයක් නැති වුවද මෙම ස්ථානය අනාගතයට ආරක්ෂා කර උරුම කර දිය යුතුය. එහෙයින් පැය 24 පුරාම පොලිස් ආරක්ෂාවක් ලබා දී ක්‍රියාත්මක වීමට හාලිඇල පොලිස් ස්ථානාධිපති වෙත නිසි උපදෙස් ලබාදුනිමි.

එය ඔබ සැමගේ මහත් සොම්නසට හේතු වන බව මම විශ්වාස කරමි.

බදුල්ල එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment