පොලිස් නිලධාරීන් සීසීටීවීවලට සහ දුරකතනවලටම යොමු වීම ඝාතකයාට වාසියක්

ස්ථානීය සාක්ෂි අහිමි කිරීමෙන් ක්‍රිස් පෙරේරාගෙන් සිදු වී ඇත්තේ මාරාන්තික වරදක්

ප්‍රතිලාභයකින් තොරව ඝාතනයක් සිදු කරන්නේ උමන්තකයෙකු පමණයි.

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය මිනිස් ඝාතනයක් බවට අධිකරණය විසින් දෙන ලද තීන්දුව විසින් මෙරට පොදු ජනතාවගේ මනස තම රට ගැන යළි යළිත් විමසිලිමත් කරවන්නට සමත් වී තිබේ. එසේ වී තිබෙන්නේ අභිරහස් මරණයක් සිදු වී වසරකට ආසන්න කාලයක් ගිය තැන හෝ නෛතිකමය වශයෙන් කෙනෙකුට පිළිගත හැකි ආකාරයට ඒ සඳහා වූ නිසි ක්‍රමවේදය යටතේ සාධාරණ තීන්දුවක් ලැබීම නිසාම නොවේ. කොතරම් දූෂිතව පැවැතියත් සිද්ධියේ ස්වභාවය අනුව වුණේ මොකක්දැයි කීමට මෙන්ම, සැකකරුවෙකුගේ මුහුණ දෙස වරක් බැලූ පමණින්ම මූ හොරාදැයි නැතිදැයි කීමට සමත් කොස්තාපල් නිලධාරීන් පවා සිටින පොලිස් දෙපාර්තමේන්තුවත්, පරිවේෂණීය සාක්ෂි මත පමණක් නියම මිනීමරුවන් එල්ලුම් ගහ කරා යන මගට යොමු කිරීමටත් සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥයනුත් සිටින රටක, මෙතරම් දින ගණනාවක් මුළුල්ලේ මේ කාරණය ඒ මේ අත කරකවමින් සිටියේ ඇයිද යන්න පිළිබඳවය.

ප්‍රසිද්ධ පුද්ගලයෙකු අභිරහස් ලෙස මිය යෑම පිළිබඳව උණුසුම් කතාබහක් සමාජය තුළ පැතිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය වූ කලි එය අසාමාන්‍ය තත්ත්වයට පත් කළ අවස්ථාවක් වූයේය.

තමාගේ දෙඅත තමා විසින්ම ගැටගසා ගෙන, ඉන් අනතුරුව ඇන්ටෙනා කේබලයක් ආධාරයෙන් සිය මෝටර් රථය තුළ දී ගෙල සිරකර ගැනීමෙන් මෙම මරණය සිදු වූයේ යැයි යන්න ඒ පිළිබඳව පැතිරුණු මුල් ප්‍රවෘත්තිය වූයේය. මේ අයුරින් සිදුවන මරණයකදී අනිවාර්යයෙන්ම මළ සිරුර අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු යොමු කෙරෙන අතර, ඔහු විසින් සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබා දෙන තොරතුරු පදනම් කර ගනිමින් මරණ පරීක්ෂකවරයා විසින් හෝ විනිසුරුවරයෙකු විසින් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නැතිද යන්නත්, මනුෂ්‍ය ඝාතනයක් නම් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීමට පොලිසියට නියෝග කිරීමත් සිදු වන්නේය. මෙම පරීක්ෂණ අවසානයේදී එය කේබලයකින් ගෙල සිරවීම නිසා සිදු වූ මරණයක් යයි ප්‍රකාශ වුවද, මනුෂ්‍ය ඝාතනයක් සේ තීරණය නොකෙරුණු බැවින් සෑම මාධ්‍යයකින්ම ප්‍රකාශ වූයේ දිනේෂ් ෂාෆ්ටර් දිවිනසා ගත් බවය.

එසේ වූ නමුත් මෙම ආරංචි විසින් කෙනෙකුගේ මරණයකදී කිසිසේත්ම සිදු නොවිය යුතු අයුරින් එම පුවත අසන්නාගේ හා කියවන්නාගේ කට කොණට සිනහවක් ඇතිවන ආකාරයේ ආරංචියක් වීම වැළැක්විය නොහැකි වූයේය. නමුත් ඒ සිනහව ඇති වූයේ ආරංචිය ඉදිරිපත් කරන්නන් උදෙසා විනා, අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර් වෙත නොවන බව මළවුන්ට කෙරෙන ගෞරවයක් වශයෙන් මේ මොහොතේ සඳහන් කළ යුතුමය.

ඝාතකයා ෂාෆ්ටර්ගෙ මරණයෙන් වාසි ලැබෙන කෙනෙක්
ෂාෆ්ටර්ගේ කාර් රථය

රටෙහි සාමාන්‍ය ජනතාව තුළ එක්වරම මේ ගැන බරපතල සැක සංකා මතු වූයේ දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය පදවාගෙන කනත්තට ගොස් හැරී හවුන්ඩිනි වැනි අසාමාන්‍ය මැජික් ශිල්පියෙකුට පමණක් කළ හැකි යැයි සිතෙන ආකාරයෙන් මෙවැනි අසාමාන්‍ය ආකාරයකින් දිවිනසා ගෙන ඇතැයි අසන්නට ලැබුණු නිසාම නොවේ.

මේ පිළිබඳව වගකිව යුතු පොලිසිය, අධිකරණ වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රය ආදිය විසින් කරන ලදැයි මාධ්‍ය හරහා ඉදිරිපත් වූ ප්‍රකාශන නිසාය. ඒවා මේ ලියන අපගේ මෙන්ම අසන දකින අයගේද ඔ‘ථව අවුල් කරවන තාලයේ ඒවා වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නමුත් අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන ලොව සිටින කීර්තිමත්ම විශේෂඥයා වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුව සිටි චන්ද්‍රසිරි නිරිඇල්ල යන විද්වතුන් විසින් පෙන්වා දෙන්නේ දිවි නසා ගත් අයෙකුගේ මරණය ගෙල වැලලාගෙන සිදු කර ගත්තාද, නැතිද යන්න ගැන නිගමනයකට ඒම එතරම් සංකීර්ණ කරුණක් නොවන බවය. මේ පිළිබඳව කරුණු විග්‍රහ කිරීමට අප තුළ දැනුමක් නැති නමුදු, අප වැනි පොදු ජනතාව වෙනුවෙන් මහාචාර්ය නිරිඇල්ල විසින් ලියා ඇති..‘නිහඬ සාක්ෂි’ පොතෙහි යමකු මරා එල්ලුවාද, එල්ලී මැරුනාද යන්න දැනගත හැකි ආකාරය ගැන මෙසේ සඳහන් වෙයි. එනම් යමකු තොණ්ඩුවක් දමාගෙන, ගෙල වැලලා ගැනීමේදී නිකටට පහළින් ඇති කණ්ඨක අස්ථීය නොකැඩෙන බවය. නමුත් තවකෙකු විසින් බලයක් යොදා ගෙල මිරිකීමකදී හෝ ගෙල පෑගීම වැනි බලයක් යොදන ක්‍රියාකාරකමකදී කණ්ඨක අස්ථීය බිඳී යා හැකි බවය. මහාචාර්ය සිඩ්නි ස්මිත් විසින් සිය අධිකරණ වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයේ මේ පිළිබඳව ඉතා පැහැදිලිව විස්තර කර ඇති බවද මහාචාර්ය නිරිඇල්ල විසින් පෙන්වා දී තිබේ. මේ හැරුණු කල මහාචාර්ය නිරිඇල්ල විසින් ලියන ලද සිය කෘතියෙහි මෙන්ම මහාචාර්ය සිඩ්නි ස්මිත්ගේ “MOSTLY MURDER” කෘතියෙහිද මේ ආකාරයේ අභිරහස් මරණ පිළිබඳ උදාහරණ ගණනාවක් ඇත.

රුසියානු මහ ගත්කරුවෙකු වූ නිකොලයි ගොගොල්ගේ නිර්මාණ තුළින් ඉස්මතු වන ආකාරයට හාස්‍යය යනු ජීවිතයේ කඳුළු කැට විනා අන් කිසිවක් නොවන බව ජනතාවට යළි සිහිපත් කරවූයේ ෂාෆ්ටර් දිවිනසා ගත් බවට වූ පුවත පැතිරී යාමත් සමගය. එම කාරණයෙන් එතැනින් නොනැවතී තවත් බොහෝ දේ ආදේශ වන්නට පටන් ගත්තේ අදාළ නිලධාරීන් විටින් විට විවිධ අදහස් පවසන්නට පටන් ගැනීමත් සමගය.

ඉන් ප්‍රධාන කාරණය වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරෙහි ආසනික් තිබෙන්නේ යැයි හෙළි වූ බවය.

මේ සමගම නිවසින් පිටවීමෙන් අනතුරුව ඔහු විසින් බ්‍රයන් තෝමස් නමැත්තෙකුට යවන ලදැයි කියන ජංගම දුරකථන පණිවිඩවල පරස්පරතා ගැනද, අතරමගදී කෙටි කෑම පැකට් දෙකක් මිලදී ගැනීමද, ඔහුගේ දෙවැනියකු වන ක්‍රිෂ් පෙරේරා නමැත්තෙකුට තමා සිටින ස්ථානය ගැන දැනුම් දීමද ආදී කාරණා මාධ්‍ය හරහා මතුව ආවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්ද විටින් විට අලුත් පුවත් ඉදිරිපත් කරනු ලැබුවද ඒ කිසිවක නිසි ලෙස පරීක්ෂණයක් ඉදිරියට යන ලක්ෂණ පෙනෙන්නට තිබුණේ නැත. වරෙක දිනේෂ් ෂාෆ්ටර් විසින් තම බිරිඳගේ මවට යවන ලද හැඟීම්බර ලිපියක් ගැන එළි දැක්වුණු අතර තවත් පුවතකින් කියවුණේ බිරිඳගේ මවගේ නිවසින් ෂාෆ්ටර් ගෙල වැලලා ගැනීමට භාවිත කළ කේබලයට අයත් ඉතිරි කොටස දක්නට ලැබුණු බවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයෙන් දින අටකට පසු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසට ගිය බවද මේ සියල්ල අතරේ පසුව නිවැරදි කරන ලද පුවතක් වශයෙන් වාර්තා වූයේය.

මේ පිළිබඳ සමාජය පුරා පැතිරුණු විවිධ කතාබහ අතරට මනුෂ්‍යයෙකු සිය දිවි නසා ගැනීමට යොමුවීම ගැන මනෝ විද්‍යාත්මක විග්‍රහයක් අපට දක්නට ලැබුණේ නැත. මන්දයත් දිනේෂ් ෂාෆ්ටර් දිවි නසා ගත්තා නම් ඔහු මේ භාවිත කළ උපක්‍රමයම ඔහුගේ මනසෙහි යම් සංකීර්ණතාවක් පිළිබිඹු කරන්නක් විය හැකි බැවිනි. ජයරත්න සහ බානි රේමන්ඩ්ලා අතේ දුරින් සිටීම හා කනත්තේදී මියගිය නිසා අවසන් ගමනට පහසුවේ යැයි සිතා ඔහු එසේ කරගත්තා යැයි සිතිය නොහැකි බැවිනි. නිදිපෙති මුල්කර ගත්, වේදනාවෙන් තොරව දිවිනසා ගත හැකි දේවල් ලොවපුරා ඕනෑතරම් තිබෙන බව අප මෙන්ම ඔහුද දන්නවා ඇත. නමුත් මේ පිළිබඳව පිළිගත් විද්‍යාත්මක කරුණු දැක්වීමක් සමාජගත වූයේ නැත.

එසේ වුවද ආරම්භයේ සිටම මෙය ඝාතනයක් මිස දිවිනසා ගැනීමක් නොවන බව ප්‍රසිද්ධියේ පැවසූ දෙතුන් දෙනකු වූහ. ඒ අතරින් ප්‍රධාන වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රියන්ත ජයකොඩිය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග දෙවන වරටත් සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් මේ අවස්ථා දෙකෙහිම ඔහු පවසා සිටියේ මෙය ඝාතනයක් බවය. පළමු සාකච්ඡාවේදී, මෙම ඝාතනය බාහිරව සිදුකර මළ සිරුර පසුව කනත්තට රැගෙන එන්නට ඇතැයි පැවසූ ඔහු, මෙම දෙවන සාකච්ඡාවේදී එය නිවැරදි කළේය. එනම් ඝාතනය කනත්ත තුළදීම සිදු කරන ලද්දක් විය හැකි බව යැයි පවසමිනි.

මෙය ඝාතනයක් විය හැකි යැයි සෘජුවම ප්‍රකාශ කළ අනෙක් පුද්ගලයා වූයේ ජනාධිපති නීතිඥ චිරන්ත වරලියද්දය. දිනේෂ් ෂාෆ්ටර් තමා විසින්ම මේ අයුරින් ගෙල සිරකර ගෙන මියගිය බව පිළිගන්නට ඔහු කිසිසේත්ම සූදානම් නොවීය.

මෙම අදහස් දැක්වීම්වලට සමගාමීව මාධ්‍යවේදී සුදන්තක සමග සාකච්ඡාවකට එක්වූ පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල පැවසුවේ මේ ආකාරයට මාස දහයක් ඉකුත්වන තුරු පරීක්ෂණ ඇදී යෑමෙන් පෙනී යන්නේ ඒ පිටුපස දේශපාලනඥයන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ කොණක් තිබෙන්නේ යැයි විශ්වාස කළ හැකි බවය. මෙම ඝාතන පරීක්ෂණයේ ස්වභාවය පොලීසිය අද ඇද වැටී තිබෙන තත්ත්වය පෙන්නුම් කරන්නක් යැයි පැහැදිලි කළ අජිත් ධර්මපාල පැවසුවේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් විසින් දෙවන වරටත් පරීක්ෂණයක් පවත්වා මේ නිගමනයට එළඹුණේ අදාළ නීතිඥ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් බවය. එසේ නොවන්නට දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය දිවිනසා ගැනීමක් යන නිගමනයෙන්ම කෙළවර වන්නට ඉඩ තිබුණු බවත්, නිවැරදි නම් පළමු වතාවේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පැවසීය.

මෙම ඝාතනයෙහි ලා ඇති අපරාධමය ස්වභාවය සහ ඒ පිළිබඳව අපරාධ විමර්ශකයින් බැලිය යුතු ආකාරය පිළිබඳ ඉතා මැදිහත්ව, ආවේගශීලීභාවයෙන් තොර විද්‍යානුකූල විග්‍රහයක් කරනු හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් සිදු කරන ලදී. අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධානියා මෙන්ම ඒ සඳහා විමර්ශකයන් පුහුණු කරන්නෙකු ලෙස ද කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සිද්ධියට අදාළව වැදගත් කාරණා කීපයක් ජනතාවගේ අවධානයට ලක් කළේය.

ඔහුගේ පළමුවැනි අදහස වූයේ මේවන විට පොලිස් විමර්ශන නිලධාරීන් සීසීටීවී කැමරා සහ දුරකථන පණිවිඩ හුවමාරුවීම යන කාරණා මතම යැපෙන්නට පටන්ගෙන තිබීම අනුමත කළ නොහැකි බවය. ඒ හේතුවෙන් අපරාධවල යෙදෙන්නන්ට ලොකු වාසියක් අත්වන්නට ඉඩ ඇති බව ඔහුගේ අදහස විය. මෙය නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන් මීට පෙර අප සඳහන් කළ විද්වතුන් දෙදෙනකුගේද පොදු අදහසක් වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය.

නියෝජ්‍ය පොලිස්පති මෙහිලා දැක්වූ අදහස ඇත්ත වශයෙන්ම මෙය කියවන පාඨකයාට වඩා ඒ පිළිබඳව පර්යේෂණවල යෙදෙන්නන්ට ප්‍රමාණවත් මගපෙන්වීමක් බඳු යැයි අපි සිතමු.

මෙහිලා පෙර සඳහන් කළ පරිදි පොලිස් නිලධාරීන් සිය පරීක්ෂණ සඳහා තාක්ෂණයට වහල්වීම දිනේෂ් ෂාෆ්ටර් ඝාතකයා සිය වාසියට හරවාගෙන ඇති බව ඔහුගේ අදහස විය. කනත්ත තෝරා ගැනීමම එයට එක් හේතුවකි.

හිතළුවලින් මිදී මේ කාරණය දෙස බැලීම වැදගත් බව ඔහුගේ අදහසයි.

ඔහු කෙටි කෑම පාර්සල් දෙකක් මිලදී ගත්තේ ඇයිදැයි යන්නත්, ඔහු කෙටි කෑම වලට එතරම් කැමැත්තක් නැතැයි බ්‍රයන් තෝමස් පැවසූ අදහසත් මෙතැනදී එතරම් වැදගත් නැතැයි ප්‍රියන්ත ජයකොඩි පවසයි.

එමෙන්ම එදා සවස ඔහු කනත්තට ගියේ එක්කෝ යමෙකුට සුවිශේෂ තොරතුරක් දෙන්නට හෝ එවැන්නක් ලබා ගන්නට හෝ විය හැකි යැයි තමා විශ්වාස කරන බවද ඔහු පවසයි. අපරාධකරුවා තම දඩබිම වශයෙන් තෝරා ගන්නේ ඔහුට පළපුරුදු තැනක්. පහසු තැනක්. එවැනි තැනකදී සාක්ෂි වසන් කළ හැකි ආකාරය ඔහු දන්නවා. බොහෝවිට මේ ඔහුගේ පළමු අවස්ථාව නොවෙන්න පුළුවන්.

ප්‍රියන්ත ජයකොඩි පවසයි.

දිනේෂ් ෂාෆ්ටර් කනත්තට යන්නේ තමා දන්නා කෙනෙක් හමුවීමට මෙන්ම එදින රාත්‍රි බිරිඳත් සමග එංගලන්තයට යෑමට පෙර විසඳා ගත යුතු කරුණක් පිළිබඳව විය හැකි බව පෙනේ. එම ගමන යම් කිසිවෙකුගේ අභියෝගයක් පිළිගෙන, එයට මුහුණදීම පිණිස ගිය ගමනක් ලෙසද කල්පනා කළ හැකි බව ප්‍රියන්ත ජයකොඩිගේ අදහසය.

මොනයම් කරුණක් සඳහා හෝ කනත්ත මේ සඳහා තෝරා ගැනීමේ හේතුව ලෙස ඔහු දකින්නේ මිනිස් චිත්ත සන්තායේම එක්තරා සංකීර්ණතාවක් ලෙසය. ඔහු පවසන්නේ සමහරවිට පුද්ගලයන් දෙදෙනකු අතර, පිටත සමාජයට පෙන්විය නොහැකි, එනම් තෙවන පන්තියට සන්නිවේදනය නොවිය යුතු කාරණා හෝ ගනුදෙනු තිබිය හැකි බවය. එවැනි හේතුවක් මතද ඔවුන් විසින් කනත්ත තෝරා ගත්තා විය හැකියි යන්නය.

මෙම අපරාධයෙන් අනතුරුව කිසිදු ආරක්ෂක කැමරා පද්ධතියක අපරාධකරු පිළිබඳ හෝඩුවාවක් නොතිබුණු බව ප්‍රකට කරුණකි. නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වැනි ආයතනවලට මේ සඳහා චන්ද්‍රකා තාක්ෂණය උපයෝගි කර

ගන්නට අවසර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දැන් මේ මොහොත වන විට දිනේෂ් ෂාෆ්ටර් ඝාතකයා සොයා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු වී අවසන්ය.

අපරාධ පර්යේෂණ ගැන කතා කිරීමේදී එක්වරම සිහියට නැගෙන සුවිශේෂි නාමය වන්නේ ෂර්ලොක් හෝම්ස්ය. හමුදා සේවයේ නියුතු වෛද්‍යවරයෙකු වූ දොස්තර වොට්සන්ට පවා බැලීමට අසීරු ඕනෑම සුණු විසුණු වී ගිය මළ සිරුරක් හමුවට යන හෝම්ස් ඒ මොහොතේම පස්වනක් ප්‍රීතියෙන් පිනා යන එක් කරුණක් තිබේ. එනම් කිසිවකු විසින් හෝ එම ස්ථානයට පා තබා නොතිබීම නිසාය. එනම් ස්ථානීය සාක්ෂි විනාශ නොවී තිබීම හා අවුල් නොවී තිබීමය.

මෙය සාකච්ඡාවේ ප්‍රධාන කරුණක් වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම අපරාධය සිදු වූ ස්ථානයේ සාක්ෂි අහිමි වීම පරීක්ෂණය සඳහා බරපතළ පාඩුවක් වී ඇති බවය. ඔහු පෙන්වා දුන්නේ ක්‍රිෂ් පෙරේරා නමැත්තා විසින් මෙම මෝටර් රථය එතැනින් ඉවත් කිරීම හේතුකොටගෙන මාරාන්තික වරදක් සිදුවී ඇති බවය. ප්‍රියන්ත ජයකොඩිගේ අදහස ස්ථානීය සාක්ෂි මෙවැනි පරීක්ෂණයකදී ඉතා වැදගත් බවය.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර් හා ඇසුරු කළ හා ඔහුගේ සමීපතමයන්ට සහ ඔහු ගැන දන්නා අයටත්, විශේෂයෙන්ම මේ පිළිබඳ විමර්ශනයේ යෙදෙන නිලධාරීන්ටත් සිද්ධිය තේරුම් ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක්ද ඔහු මේ ආකාරයට ඉදිරිපත් කළේය.

එය නම් ඔහුව ඝාතනය කිරීමෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ කාහටද යන්න ඉතා සියුම් ලෙස විමර්ශකයන් තෝරා බේරා ගත යුතු බවය. එය ආර්ථීක, භෞතික හෝ මානසික ප්‍රතිලාභයක් විය හැකිය. ඉතා පැහැදිලිවම ඝාතකයා වන්නේ ඒ ප්‍රතිලාභය බලාපොරොත්තු වන තැනැත්තාය. මක්නිසාද යත් මෙවැනි හේතුවක් නොමැතිව ඝාතනයක් සිදු කරන්නේ උන්මත්තකයෙකු පමණක් වන බැවිනි.

ෂර්ලොක් හෝම්ස් විසින්ද නිරන්තරයෙන් ක්‍රියාවට නැගූ මෙම න්‍යාය ගැන ඉතා හොඳින් දන්නා රහස් පරීක්ෂකයන් අප රටෙහි ද තවත් ඕනෑ තරම් සිටිය හැක. මේ එම ෂර්ලොක් හෝම්ස්ලාට තම හපන්කම් පෙන්වීමට කාලයයි. ඔවුන් එය සිදුකරනු ඇතැයි අප සිතන මුත් ප්‍රශ්නයකට ඇත්තේ ෂර්ලොක් හෝම්ස්ට මෙන් ඔවුන්ව ආරක්ෂා කළ හැකි මයික්‍රොප්ට් කෙනෙකු අපට නැතිවීමය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment