අපි එස්.ටී.එෆ් කියාගෙන ගෙදරට ඇවිත් පැහැරගෙන ගිහින්: තැඹිලි පොඩ්ඩාගේ පුත්‍රයාට වවුල්කැලේ දී වෙඩි තබා මරයි

703

ඝාතනය වූ පුද්ගලයාට මිනී මැරුම් නඩුවක්

නවගමුව පොලිස් වසමේ තුන්අඳහේන වවුල්කැලේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබේ.

බදාදා රාත්‍රී 11ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.

මෙහිදී වෙඩි වැදුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව නවගමුව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කොරතොට ප්‍රදේශයේ පදිංචි පීරිස් විතානලාගේ බුද්ධික ප්‍රසාද් (34) නමැත්තෙකි.

“අපි එස්.ටී.එෆ්. එකෙන්” යැයි පවසා යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම පුද්ගලයා නිවසින් පැහැරගෙන වවුල්කැලේ ප්‍රදේශයට රැගෙන විත් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබේ.

වෙඩි තැබීම සඳහා මි.මී. 9 වර්ගයේ පිස්තෝලයක් යොදා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඝාතනය වූ තැඹිලි පොඩ්ඩාගේ පුත්‍රයා ලෙස හඳුන්වන මෙම තැනැත්තාට එරෙහිව මුල්ලේරියාව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ නඩුවක් ද පවතින බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලයනල් සේනානායක මහතාගේ උපදෙස් මත උ.පො.ප. රාජපක්ෂ, පො.සැ (56992) රෝහිත යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment