රැහැන් මගින් ඉන්දියාවෙන් විදුලිය ගැනීමේ ව්‍යාපෘතිය මේ වසරේ ඇරැඹෙයි

182

මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාවේ සිට රැහැන් මගින් මෙගාවොට් 1000 ක් ලබා ගන්නා විදුලි ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කර ලබන 2027 වසරේදී එය නිම කිරීමට නියමිතව ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධව අවසන් ශක්‍යතා වාර්තා මේ වන විට සකසමින් තිබෙන අතර එම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වැය වන බවට ගණන් බලා තිබේ.

තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුව දක්වා මුහුදේ සවි කරන කණු මතින් විදුලි රැහැන් මගින් මෙරටට විදුලිය ලබා ගන්නා අතර පළමු අදියරේ දී මෙගා වොට් 500 ක් ද දෙවන අදියරෙන් ඉතිරි මෙගාවොට් 500 ලබා ගැනීමට ද සැලසුම් කර ඇත.

මෙම විදුලි ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල ඉන්දියාව විසින් දැරීම හෝ තුන්වැනි පාර්ශ්වයක සහාය ගැනීම පිළිබඳ සාකච්ඡා සිදුවන බව ද නන්දික පතිරගේ මහතා කීය.

යුරෝපය සහ මැදපෙරදිග රටවල් අතර මෙලෙස විදුලිය හුවමාරු කර ගන්නා බවත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඇති කිරීම කලක සිට අවධානය යොමු වී තිබූ දෙයක් බවත් ඒ මහතා පැවසීය.

මෙම විදුලි ව්‍යාපෘතිය රැහැන් දෙකක් මගින් ඉදිකිරීමට නියමිතය. යම් හෙයකින් ශ්‍රී ලංකාවට අතිරික්ත විදුලි ධාරිතාවක් පවතින කාලයේ ඉන්දියාවට එම විදුලිය ලබා දීමටත්, ශ්‍රී ලංකාවට විදුලි අවශ්‍යතාව වැඩිවන වකවානුවේ ඉන්දියාවෙන් විදුලිය මිල දී ගැනීමත් මේ ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment