අයර්ලන්තයේ වාර්තාගත ඉනිමට ශ්‍රී ලංකාව පිළිතුරු සොයයි

590

සිය තරග 5 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලකුණු 500 සන්ධිස්ථානයට සමීප වුණු අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ වාර්තාගත ඉනිමට පිළිතුරු සපයන සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් රැස් කරගෙන සිටිති.

ශතක දෙකකින් සහ ශතකයට ආසන්න වූ තවත් අර්ධ ශතක දෙකකින් පෝෂණය වූ අයර්ලන්ත කණ්ඩායම ඊයේ (25 වැනිදා) දිනයේ ගාලු පිටියේදී රැස්කරන ලද ලකුණු 492 ඔවුන් ටෙස්ට් පිටියේ රැස්කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

එසේම එය ඔවුන් ලකුණු 400 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද වූ අතර 2018 වසරේ පාකිස්තානයට එරෙහිව පැවැති මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 339 මීට ඉහත අයර්ලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 411 ක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙපිටින් රැඳී සිටියදී ගාලු පිටියේ පැවති අන්ධකාර තත්ත්වය මත ඊයේ දිනයේදී ක්‍රීඩාව නතර කෙරිණි.

ඒ වන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් සහ නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 41 ක් ලබා ගෙන සිටියහ. උපනායක පෝල් ස්ටර්ලින් සහ තුන් ඉරියව් ක්‍රීඩක කර්ට්ස් කැම්පර් යන දෙදෙනාම අයර්ලන්තය වෙනුවෙන් ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එම ශතක දෙකම ඔවුන්ගේ මංගල ටෙස්ට් ශතකයන් විය. කර්ට්ස් කැම්පර්ගේ ඊට පෙර ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 36 කි.

මස්පිඬු පෙරළීම නිසා ලකුණු 74 දී තාවකාලිකව පෙරේදා සිය ඉනිම නතර කොට විවේක ගත් ස්ටර්ලිංග් ඊයේ දිනයේදී යළි පිටියට පැමිණ සිය ශතකය සම්පූර්ණ කළේය. දිගින් දිගටම යොමු කරන ලද කෙටි පන්දු නිසා විශ්වාසය බිඳ ගත් ස්ටර්ලිංග් අවසානයේ උගුලේ හසු වෙමින් ඩීප් ෆයින්ලෙග්හි පන්දු රැකී ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

පන්දු 185 කට මුහුණ දී සිටි ස්ටර්ලිංග් දැවී යන විට ලකුණු 103 ක් ලබා ගත් අතර ඉන් 4 ක් හයේ පහර ලෙසින්ද 9 ක් හතරේ පහර ලෙසින්ද සටහන් විණි. ස්ටර්ලිංග් පිටියට පිවිසීමට පෙර ලෝකන් ටකර් සහ කර්ටිස් කැම්පර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළේ දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගනිමිනි. බැල්බර්නි සමඟ වාර්තා ගත සම්බන්ධතාවක් පැවැත්වූ ස්ටර්ලිං ඊයේ දිනයේදී කැම්පර් සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ.

කර්ටි කැම්පර් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 225 කින් ලකුණු 111 ක් රැස් කරමිනි. ඊට හතරේ පහර 15 ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත විය.

උදයවරුවේ ලකුණු 80 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට අයර්ලන්ත පිතිකරුවන් සමත් වද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත්වූයේ කඩුලු 2 ක් පමණක් දවා ගැනීමටය. එහිදී පළමු කඩුල්ල විශ්ව ප්‍රනාන්දු විසින් දවා ගනිද්දී ස්ටර්ලිංග්ගේ කඩුල්ල අසිත ප්‍රනාන්දු විසින් දවාගනු ලැබීය. අයර්ලන්ත ඉනිම වරෙක ලකුණු 474 ට කඩුලු හයක් ලෙස දිස් වූ අතර අවසානයේ යළි ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලකුණු 500 සීමාවට අවතීර්ණ වීමට ඉඩ නොදී ශ්‍රී ලංකා ගෞරවය යම්තමින් හෝ රැක ගත්තේය. ටෙස්ට් තරග 7 කදී 6 වැනි වතාවටත් කඩුලු 5 කඩඉමට එහිදී ප්‍රභාත් අවතීර්ණ වූ නමුත් ඒ සඳහා ඔහුට පන්දු වාර 58 ක් යවන්නට සිදු වී තිබුණි.

අසිත ප්‍රනාන්දු සහ විශ්ව පනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්හ.

පන්දු වාර 145 යි පන්දු 3 ක් පුරා අයර්ලන්ත ඉනිම ක්‍රියාත්මක විණි.

ලකුණු සාරාංශය

අයර්ලන්තය පළමු ඉනිම 492/10

කර්ට්ස් කැම්පර් 111, පෝල් ස්ටර්ලිංග් 103, ඇන්ඩි බැල්බර්නි 95, ලෝකන් ටකර් 80

පන්දු යැවීම

ප්‍රභාත් ජයසුරිය 174/5, අසිත ප්‍රනාන්දු 78/2, විශ්ව ප්‍රනාන්දු 92/2

ශ්‍රී ලංකාව පළමු ඉනිම 81/0

දිමුත් කරුණාරත්න නොදැවී 39

නිශාන් මධුශ්ක නොදැවී 41

advertistmentadvertistment
advertistmentadvertistment