අයෝධ්‍යාවේ රාම මන්දිරය සිහිකරවයි රාවණා රජු

544

කෘත, ද්වාපර, නේත්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන යුගවලින් නේත්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ රජු හැඳින්වේ. හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. දසිස් රාවණ ලෙස රාමායනයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලද, රණබා ලෙස යක්ෂ ගෝත්‍රික වරිගපූර්ණිකාවේ ද මහා රාවණයන් හැඳින්වේ. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූද රාවණ ලංකාපුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. “ලොව පසිඳු රාවණ – මහ ගුණවතෙකි මහබලවතෙකි – සක්දෙව් රජුටවත් පරදවන්නට නොහැකි වූවෙකි” යනුවෙන් කියමනක්ද වේ. මහා රාවණා සතුව, ගුවනින් ගමන් කළ හැකි යානයක් තිබූ බව, වාල්මිකී පවා පිළිගනී. එසේ නම් එය, ලෝකයේ ප්‍රථම ගුවන් යානා තාක්ෂණය භාවිත කළ යුගය නොවන්නේ ද? රයිට් සහෝදරයන් 1905දී ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිපද වූ බව කියවේ. නමුත් ඊජිප්තු පිරමීඩ තුළ වූ රූප හා සටහන්, එය බොරු කර තිබේ. මැටියෙන් තැනූ ගුවන් යානා ආකෘති හතරක් එහි තිබූ අතර, කාබන් පරීක්ෂණයට අනුව එය වසර හාරදහස් පන්සියයකට වඩා පැරැණි බව ඔප්පු වී ඇත. ඒ අනුව ඉතිහාසය විමසා බැලීමේදී, මෙවැනි ගුවන් යානා හමුවන්නේ රාවණා යුගයේදීය. ‘රාවණා, සීතා ගෙනා රථයෙන් අහසට නැඟුණේය යැයි වාල්මිකී ද පිළිගනියි. රාවණා, සීතා පැහැරගෙන එන්නේ, ‘පුෂ්පක විමානය’ නම් දඬුමොණර යන්ත්‍රයෙන් බව, බොහෝ ඉතිහාස පොත්වල සඳහන් වී ඇත. රාවණාගේ ගුවන් යානා පිළිබඳ කතා කිරීමේදී, ‘විමාන’ යන්න පැහැදිලි කරගත යුතුය. ‘විමන්’ යනු විශාල ගුවන් යානා ය. ‘බිමින්’ යනු සැහැල්ලු ගුවන් යානා විය. ඊට අමතරව පාපැදි ගුවන් යානා, කන්දක සිට තවත් කන්දකට ගමන් කළ හැකි ගුවන් යානා සහ ගිරි මුදුන්වල සිට පහළට බැසිය හැකි ගුවන් යානා ලෙස බොහෝ ප්‍රභේද පිළිබඳ සඳහන්ය. ඉන්දීය විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකු වූ නාගේෂ්වරම් රායි ප්‍රකාශ කර ඇත්තේ, රාවණා රජුට විවිධ මාදිලියේ ගුවන් යානා වර්ග විසි හතරක් තිබූ බවය. රාවණ රජු ගිනි තබන ඉන්දියාවෙන්ම මේ තොරතුරු සොයාගෙන තිබීම විශේෂයකි.

රාවණ රජු සිහිකරන්නේ ඉන්දියාවේ අයෝධ්‍යා නුවර රාම දෙවියන් වෙනුවෙන් නව දෙවොලක් ගොඩනැඟුනු නිසාය. අයෝධ්‍යා පුරවරයේ දශරථ රජුගේ පුත් ලෙස රාම ඉපදෙන්නේ මේ නුවරය. කවරක් නමුත් රාම ශ්‍රේෂ්ට වන්නේ රාවණ පරාජය කිරීම නිසාද? එසේ නම් අපේ රාවණ නොවන්නට රාමා මෙලෙස උපහාරයට පත්වන්නේ නැත. මේ රාම දෙවොල ලෝකයට නිරාවරණය කරන දිනයේ චෙන්නායි නුවර රාවණ සැමරීමේ වැඩසටහනක් පැවතිණි. එයින් කියවුනේ ආර්යන්ගේ දුෂ්ටකම්වලට එරෙහි සටන් වැදුණු රාවණ දෙමළ අධිරාජ්‍යයකු බවයි. ලංකාවේ රාවණ දෙමළ කරන්නට උත්සහ ගන්නේ කවරෙකුද? නමුත් රාවණ අයිති හෙළ ඉතිහාසයටය.

ඩොලර් මිලියන 217ක පිරිවැයකින් ඉදිකෙරුණු සුවිසල් රාම දෙවොල එරට අගමැති නරේන්ද්‍ර මෝදී අතින් විවෘත කරනු ලැබූවේ පසුගිය 22 වැනිදාය. තෙවන වරටත් අගමැති වීමේ බලාපොරොත්තුවෙන් සිටින භාරතීය ජනතා පක්ෂ නායකයා සිය මැතිවරණ ව්‍යාපාරය සැබවින්ම මේ හින්දු දෙවොල විවෘත කිරීමෙන් පසුවය. කොන්ග්‍රස් පක්ෂයේ නායකයෝ ඇතුළු විපක්ෂයේ නායකයන් මේ සමාරම්භක උත්සවය සඳහා සහභාගි නොවුනේ මෙය කෙලින්ම දේශපාලන වැඩක් බව පවසමිනි. අගමැති මෝදී පවසන්නේ නව මන්දිරය “රට එක්සත් කරන” බව ය. මෙම නව රාම මන්දිරය සුවිසල් ය. අක්කර 70ක සංකීර්ණයක අක්කර 7.2ක් පුරා විහිදෙන, රෝස වැලිගල්වලින් ආවරණය වී ඇති කළුගල් අත්තිවාරමක් මත පිහිටා තිබෙන තෙමහල් ගොඩනැඟිල්ල, උස් කුලුනුවලින් සමන්විත වන අතර වර්ග අඩි 70,000ක් පුරා පැතිරෙන උසස් තත්ත්වයේ සුදු කිරිගරුඬ පොළොවකින් ද සමන්විත ය. මේ ඉදිකිරීම් නිසා ලොව ප්‍රකට අයෝධ්‍යා නගරය ‘හින්දු වතිකානය’ බවට පරිවර්තනය වෙමින් පවතී. එය ජාතිකවාදී හින්දු මතයේ ජයග්‍රහණයකි. ගංගා නම් නදියේ ගංගාවක් වන සර්යු ගංගා ඉවුරේ පිහිටි නිසංසල වන්දනා නගරයක් වන අයෝධ්‍යාව ඩොලර් බිලියන ගණනක් වැය කර සුපිරි නගරයක් බවට පත්කර ඇත්තේද වඩා හොඳින් හින්දු බලය පෙන්වීම සඳහාය. “අපට අවශ්‍ය වන්නේ ලෝකයේ ලස්සනම නගරය නිර්මාණය කිරීමට යි,” අයෝධ්‍යාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ගෞරව් දයාල් පවසන්නේ මේ නිසාය.

අයෝධ්‍යාවේ 16 වැනි සියවසේදී ගොඩනැඟූ යැයි සැලකෙන බබ්රි දේවස්ථානය අන්තවාදී හින්දු භක්තිකයන් පිරිසක් විසින් 1992 දී විනාශ කරන ලදි. ඉන් අනතුරුව ඇති වූ හින්දු මුස්ලිම් කැරලි කෝලාහල නිසා 2000 ක් පමණ දෙනා මරණයට පත්විය. මේ මුස්ලිම් පල්ලිය විනාශ කිරීම පිළිබඳ චෝදනා ලැබුවේද භාරතීය ජනතා පක්ෂ නායකයන්ය. මෙම භූමියේ අයිතිය පිළිබඳ පැවති නඩු විභාගයේදී ‘අයෝධ්‍යා ශුද්ධ භූමිය’ දෙවොලක් ගොඩනැඟීමට අවශ්‍යව සිටින හින්දුන්ට ලබා දිය යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවේ 2019 වසරේදීය. ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සැපයූ සාක්ෂි අනුව, විනාශ කර ඇති බබ්රි දේවස්ථාන ගොඩනැඟිල්ලේ සැකිල්ලට යට, කොටස් ඉතිරිව ඇති “ඉස්ලාමීය නොවන” ගොඩනැඟිල්ලක් ඇති බව හෙළිව ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන් විය. එනිසා මතභේදයට ලක්ව ඇති භූමිය රාම දෙවියන් වෙනුවෙන් දෙවොලක් ගොඩනැඟීමට හින්දූන්ට ලබා දිය යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබිණි. ඒ අනුව මෝදිගේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය. “මට මෙතන හඳුනා ගන්න බැහැ, නගරයම දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඇත්ත වශයෙන්ම මේ සියල්ල සිදුවී තිබීම ගැන තරමක කම්පනයක් හා විස්මයක් දැනෙනවා,” යැයි 2016 වසරේ සිට අයෝධ්‍යා නගරයේ සංචාරය කරන Ayodhya (City of Faith, City of Discord ග්‍රන්ථයේ කර්තෘ වාලේ සිං බීබීසීයට පවසා තිබිණි.

රාම දෙවොල ඉදිකිරීමෙන් පසුව ඉන්දියාවේ සෙසු ආගමිකයන් සතු ස්ථානවලද හින්දු අයිතිය ඇති බව කියමින් ඒවා පවරා ගැනීමටද හින්දු ජාතිකවාදීන් සූදානම් වන බව ප්‍රංශ පුවත් සේවයක් මගින් වාර්තා කර තිබිණි. මේ හරහා ඉදිරියේ ආගමික සහජීවනය පවත්වාගෙන යෑම තවදුරටත් අර්බුදයට ලක්වන බව නම් පැහැදිලිය. එහෙත් රාමා සිහි කිරීම හරහා දේශපාලන අරමුණු ජය ගැනීමට මෝදී පාලනය කිසිවිටක අතපසු කරන්නේ නැත.

රාම් මන්දීර් ව්‍යාපාරය මෝදිගේ දේශපාලන ජීවිතයේ වඩා වැදගත් ප්‍රවේශයක් වූ බව ප්‍රකට මාධ්‍යවේදිනි රානා අයුබ් පවසයි. 1990 දී, මෝදි, ප්‍රාදේශීය භාරතීය ජනතා පක්ෂ නායකයකු ලෙස, තමන් උපන් ගුජරාටයේ අයෝධ්‍යාවේ බබ්රි පල්ලිය පිහිටි භූමියේ රාම් දෙවියන්ට කෝවිලක් ඉදිකිරීම සඳහා සහයෝගය ලබා දීම අරමුණු කරගත් ආගමික රැස්වීමක් සංවිධානය කළේය. එසේම රාම් දෙවියන්ට කැප කරන ලද දේවාලයක් සදා නිම කරන තුරු නැවත අයෝධ්‍යාවට නොයන බවට ප්‍රතිඥා ලබා දී තිබිණි. දශක තුනකට ආසන්න කාලයකට පසු, ඉන්දීය අගමැතිවරයා මෙම මන්දිරයේ මුල්ගල තැබීමේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ එදින “ඉන්දියාව නිදහස ලැබූ දිනය” ට සමාන බවයි.

මේ අතර පාකිස්තානය රජය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාවේ මුස්ලිම් උරුමය සුරැකීමට මැදිහත්වන ලෙසයි. මෙය ඉන්දියානු මාධ්‍ය කෝපයට පත්කරන පුවතක් වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන පාකිස්තාන තානාපති මුනීර් අක්‍රම් විසින් ලියා ඇති ලිපියේ සඳහන් වන්නේ ඉන්දියාවේ අයෝධ්‍යාවේ බාබ්රි මස්ජිඩ් පල්ලිය කඩා බිඳ මෙම රාම් කෝවිල ඉදිකිරීම තම රට තරයේ හෙළා දකින බවයි. එසේම බරණැස් නුවර ගන්වාපි පල්ලිය සහ මතුරාහි ෂාහි ඊද්ගා මුස්ලිම් පල්ලිය ඇතුළු ඉන්දියාවේ පිහිටි මුස්ලිම් පල්ලි රැසක් හින්දුන් විසින් නැවත අත්පත්කර ගැනීමේ අවදානමකට ලක්ව සිටින බව පාකිස්තාන තානාපතිවරයා එක්සත් ජාතීන් වෙත යැවූ ලිපියේ සඳහන් වේ. මෙය ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති රාජ්‍ය ත්‍රාන්ත්‍රික අවුල උග්‍ර කරන ප්‍රශ්නයක් වනු ඇත.

ඉන්දියාවේ රාම මන්දිරය ඉදිකර නිමවන විට ලංකාවේ රාවණ මන්දිරය ඉදිකරන්නේ කවදාද යන්න ප්‍රශ්න කළ යුතුය. සමහරු මෙයට සිනාසිය හැකිය. එහෙත් අප රාවණ රජු වෙනුවෙන් මන්දිරයක් ඉදිකළ යුතුය. එය සීගිරියේ හෝ අන් කවර ස්ථානයක ඉදිකළත් කම් නැත. රාමට අභියෝග කළ හෙළ නරයා අප සිහිකළ යුතුමය. රාවණ මන්දිරය යම් දවසක ඉදිවුවහොත් එය ඉන්දීය සංචාරකයන්ගේ වඩා හොඳ ආකර්ශනීය ගමනාන්තයක් වනු ඇත. මන්ද හින්දි කතා නොකරන දකුණු ඉන්දීය වැසියන්ට රාවණ වීරයෙකි. වායු පුරාණයේ රාවණා රජුගේ ආයු කාලය පිළිබඳ සඳහන් වෙයි. එහි සඳහන් පරිදි රාවණා ඝාතනය කෙරුණේ 24 වැනි ත්‍රෙත යුගයේදීය. රාම, රාවණා ඝාතනය කරන විට රාමගේ වයස අවුරුදු 39 යැයි සඳහන් වේ. ලක්වැසියනට රාවණ මන්දිරය ඉදිකිරීමට ශුද්ධ අයිතියක් ඇත. ඉන්දියාවේ හින්දු ආධිපත්‍ය ප්‍රබලාවන් විට එයත් මෙරට සිංහල බෞද්ධයන්ට තර්ජනයක් බව අවබෝධ කරගන්නේ ටික දෙනකු පමණි. 2019 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට නිපදවූ චන්ද්‍රිකාව “රාවණා 1” ලෙස නම් කිරීම ගැනද ඉන්දීය මාධ්‍ය කලබල වූ අයුරු අපට මතකය. මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තබා තිබුණේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. “රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ,” යනුවෙන් අභ්‍යවකාශ ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ පවසා තිබිණි. දුලානි සහ තරිඳු දයාරත්න යන දෙදෙනා විසින් රාවණා 1 නිර්මාණය කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment