අසල්වැසි රාජ්‍යයන්ට පළමු තැන දෙන ඉන්දීය ආර්ථික ප්‍රතිපත්තියේ හෙට දවස

143

2022 – 2023 වර්ෂයේ සිව්වන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.1 කින් වර්ධනය වූ අතර එය වාර්ෂික වර්ධන වේගය සියයට 7.2 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරන බවට පසුගිය මැයි මස 31 දින නිකුත් කළ ඉන්දීය නිල සංඛ්‍යා ලේඛන වාර්තා මගින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් පසුගිය දශකය පුරා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ චීනය, 2023 පළමු මාස තුන තුළ වාර්තා කර ඇත්තේ සියයට 4.5 ක ආර්ථික වර්ධන වේගයක් බවට “ද ඉකොනොමික් ටයිම්ස්” වෙබ් අඩවිය වාර්තා කරන ලදී.

ලෝක ආර්ථිකය අඳුරු අනාගතයක සෙවනැලි මතුකර ඇති පසුබිමක ඉන්දියානු ආර්ථිකය දීප්තිමත් ස්ථානයක පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් සහතිකය ඉන්දියාවේ දිශානතිය සම්බන්ධයෙන් සුබවාදී පණිවුඩයක් ලබා දී ඇත.

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 7% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවත් ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා පුරෝකථනය කර ඇත.

කොරෝනා වසංගතය අතරතුර ඉන්දියාව ලෝක නායකයකුගේ කායර්භාරය ලොවට ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසට සඳහන් කළ හැකිය. එහි එක් පියවරක් ලෙස ‘එන්නත් මිත්‍රත්වය’ යන සංකේතාත්මක නමින් ලොව පුරා රටවල් සියයකට වැඩි ගණනකට ඉන්දියාව විසින් වෛද්‍ය ආධාර සහ එන්නත් ලබා දීමට කටයුතු කරන ලදී. එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය නම් වූ නව්‍ය සංකල්පයක් හරහා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ අඩු ආදායම්ලාභීන් වෙසෙන රටවලට පහසුවෙන් ලබා ගත හැකි එන්නත් නිපදවීමෙන් ඉන්දියාව සිය ගෝලීය වපසරිය පුළුල් කර ගැනීමට සමත්වී ඇත.

දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාව ඉන් මුදාගැනීමට ඉදිරිපත් වූ පළමු රට බවට ඉන්දියාව පත් විය.

ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 51කට අධික විදේශ ණය සඳහා ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කළේය. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල් දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 4 කට ආසන්න වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

2022 ජනවාරි මාසයේදී මූල්‍ය අර්බුදය දිග හැරෙන්නට පටන් ගැනීමත් සමඟ ක්ෂය වූ විදේශ සංචිත ගොඩනඟා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ප්‍රදානය කරන ලදී. පසුව අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දුන්නේය. අර්බුදය උත්සන්න වීමත් සමග මෙම ණය පහසුකම පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 700 දක්වා පුළුල් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත. සංචාරක කර්මාන්තයේ උන්නතියට නැතුවම බැරි ඉන්දීය සංචාරකයෝ වසරකදී ඉන්දියානු සංචාරකයන් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න මුදල් ප්‍රමාණයක් විදේශ සංචාර සඳහා වැය කරනු ලබන බව නවතම සමීක්ෂණ වාර්තා මගින් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි ඉන්දියාවේ සංචාරක වෙළෙඳපොළෙන් කොටසක් මෙරටට ආකර්ශනය කර ගැනීමට අවස්ථාව දැන් අපට උදාවී ඇත.

මේ වසරේ මුල් මාස 03 තුළ සංචාරකයන් 3,35,000 මෙරට සංචාරය සඳහා පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියි. ඒ අතරින් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් රුසියානු සහ ඉන්දීය සංචාරකයන්ගෙන් සමන්විත විය.

පසුගිය වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ යාපනයේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බවයි. මෙහි ඇති වැදගත්කම වන්නේ, ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරායට ඇති දුර ඉන්දියාව සහ කොළඹ අතර ඇති දුර ප්‍රමාණයට වඩා අඩු බැවින් ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය දක්වා සෘජු භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආරම්භ කිරීමට හැකි වීමයි.

මෙමගින් ප්‍රවාහන වියදම් ද ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, කරදරයකින් තොරව කන්කසන්තුරේ වෙත ආහාර සහ පොහොර ඉන්දියාවෙන් ගෙන ඒමට ද ඉඩ සැලසෙනු ඇති. ඉන්දියාව G20 සංවිධානයෙහි ප්‍රධානියා වීමත් සමඟ පුනර්ජනනීය බලශක්තිය සඳහා කලාපීය රටවල් යොමු වීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටියි. සුළං සහ සූර්ය බලශක්තිය කලාපයේ ඉරණම වෙනස් කරන සාධකය බවට පත් කිරීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ අරමුණයි. ජාත්‍යන්තර සූර්ය සන්ධානය තුළ දකුණු ආසියානු රටවල් රැසක් නියෝජනය කරයි.

මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය 2024 වසරේ දෙසැම්බර් මස අවසන් කිරීමට අදානි සමාගම බලාපොරොත්තු වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දින ප්‍රකාශ කළේය. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව අදානි සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා ඇතුළු නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටලු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව එහිදී අවදානය යොමු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අසල්වැසි රාජ්‍යයන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික සංකල්පය මත ඉන්දියාව සෑමවිටම කටයුතු කරන බැවින් ඉන්දියාව ලෝකය හමුවේ අත්කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන්ට ද ගලා යෑමට ඉඩ සැලසෙන බව අතීත සංසිද්ධි මගින් මනා ලෙස ඔප්පු වේ. ඒ අනුව ලෝක බලවතෙකු ලෙසට ඉන්දියාව විසින් අත්කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සුභසිද්ධිය සඳහා ද හේතු පාදක වනු නොඅනුමානය. පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රටේ සාමාන්‍ය ජන ජීවිතය යම්තාක් දුරට හෝ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇත්තේ ඉන්දියානු රජයෙන් ලබා දුන් නොමද සහයෝගය නිසා බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි.

සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment