අර්වින්ගේ සවියෙන් සිම්බාබ්වේ 200 සීමාව පනියි

119

නායක ක්‍රේග් අර්වින්ගේ ලකුණු 82 ක අධිෂ්ඨානශීලි ඉනිම මත සංචාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා ) සමත් වූහ.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දු වාර 44.4 කදී දවා ගැනීමත් සමග සිම්බාබ්වේ ඉනිම ලකුණු 208 දී නිමාවට පත් වූයේය.

ඒ අනුව මේ වසරේ පළමු එක් දින ජයග්‍රහණය ලැබීමට නම් පන්දුවාර 50 ක් තුළ ලකුණු 209 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය. දෙරට අතර තරග තුනකින් යුත් තරගාවලියේ දෙවැනි තරඟය ලෙස පැවැති එම තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායකයාගේ ඒ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයට නොහැකි විය. පළමු තරඟයේ මෙන්ම මෙම තරඟයේදී ද ඩිල්ශාන් මධුසංඛගෙන් එල්ල වුණු පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා ක්‍රීඩාගාරය කරා පිය මැනීමට ආරම්භක පිතිකරු ටිනාෂේට සිදු විය.

ඒ අනුව තරග දෙකේදීම සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 1කදී නිමා කිරීමට ඩිල්ෂාන් සමත් වූයේය.

අනතුරුව ක්‍රියාත්මක වූ නායක අර්වින්ගේ සහ ජොයිලෝර්ඩ් ගුම්බිගේ සම්බන්ධතාවය ලකුණු 61 දී බිඳ දැමූ මහීෂ් තීක්ෂණ තරඟය අවසන් කළේ ලකුණු 31 කට කඩුලු හතරක් ලෙස සිය පන්දු යැවීම සටහන් කරමිනි.

තීක්ෂණට අනගි සහයක් දැක්වූ ජෙෆ්රි වැන්ඩ්‍රසේ ලකුණු 47 කට කඩුලු 2 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 44 කට කඩුලු දෙකක් දවා ගත්හ. සිම්බාබ්වේ කණ්ඩායම වරෙක කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් ලෙස රැඳී සිටියද නායක ක්‍රේග් අර්වින් එහිදී පස්වන කඩුල්ල ලෙස දැවී යෑමත් සමග සිම්බාබ්වේ ඉනිමේ ඇද වැටීම ආරම්භ විය.

අනතුරුව ලකුණු 26 ක් තුළ සිම්බාබ්වේ ඉනිම නිමා වූ අතර අර්වින් පන්දු 102 ක් තුළ ලකුණු 82 ක් ලැබීය. ඒ සඳහා 4 පහර 9 ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.

ශ්‍රී ලංකා නායකයා මෙම තරඟයේදී පන්දු යවන්නන් 8 දෙනෙකු පන්දු යැවීම සඳහා කැඳවූයේය.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ 208/10 (44.4)

ක්‍රේග් අර්වින් 82, ජොයිලෝර්ඩ් ගුම්බී 30, රයන් බර්ල් 31, මිල්ටන් ෂුම්බා 26

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 7-24-1, මහීෂ් තීක්ෂණ 9.4.-31-4,

ජෙෆ්රි වැන්ඩ්‍රසේ 10-47-2, දුෂ්මන්ත චමීර 8-44-2
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment