ආගමන විගමනයට ගත් සීසීටීවී වසර 6ක් ගබඩාවක පුස් කයි – සවිකරනවාට නිලධාරින් පිරිසක් විරුද්ධලු‍

144

ඊ – පාස්පෝට් එකම තැන

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවි නොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

2017 වසරේදී රුපියල් මිලියන 2.1 ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා මැදිහත් වූ නිලධාරීන් මේ වන විට ස්ථාන මාරු ලබා ඇති බවත් අනාවරණය විය. මෙවැනි ආයතනවල ඇතැමුන් කැමරා උපකරණ සවිකිරීමට අකැමැත්තක් පළ කරන බව ද පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත් මැයි 15ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.

ගුවන්තොටුපළ ඊගේට් (E-gate) පහසුකමට අදාළ උපාංග මිලදී ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් දැනුම් දී තිබුණ ද තවමත් ඒ සඳහා පියවර නොගැනීම නිසා සමස්ත ඊගේට් පහසුකම් සැපයීමේ ක්‍රියාවලියම ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී කාරක සභාවේ බලවත් අප්‍රසාදය පළ විය. ඒ අනුව මෙහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබන අප්‍රේල් 15 වැනිදාට පෙර ලබා දෙන ලෙස දැනුම් දුන්නේය. ගුවන් තොටුපළ තදබදය අවම කිරීම සඳහා ස්වයං පරීක්ෂාවන් කිරීම ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යෑමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී.

විද්‍යුත් ගමන් බලපත්‍රය (E-Passport) නිකුත් කිරීම වසර 4ක් මුළුල්ලේ ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසූ අතර එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කළේය.

ගුවන් තොටුපළ රාජකාරී කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව කාර්යබහුල වේලාවන්හි වැඩි වශයෙන් ඵලදායි ලෙස නිලධාරීන් යෙදවීමට සැලැස්මක් සකස් කරන ලෙසත් එය අප්‍රේල් 15 ට පෙර කාරක සභාවට ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දෙන ලදි.

මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ ඇති බව නිලධාරීහු පැවසූහ. ඒ සඳහා බලපාන නිර්ණායක පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ලංකාව ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙනඒම සඳහා වැඩපිළිවෙළක් සකස්කොට කාරක සභාව දැනුවත් කරන ලෙස ද කෝපා සභාපතිවරයා දැනුම් දුන්නේය.

ප්‍රාදේශීය කාර්යාල මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම නිසා ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ඇතුළු අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ධාරිතාව වැඩි කිරීම සඳහා නිවැරදි යාන්ත්‍රණයක් සකස් කොට ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමෙන් පසුව ද මෙරට රැඳී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාරවල නිරත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටලු පවතින බව නිලධාරීන් පැවසූ අතර මේ සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ජනතාවගේ සහාය ලබා ගැනීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment