ලයිට් බිල වැඩි කිරීම වැරදි දත්ත මත ගත් තීරණයක් බව දැන් ඔප්පු වෙනවා – හිටපු සභාපති ජනක කියයි

223

පසුගිය පෙබරවාරි මස විදුලි ගාස්තු වැඩි කිරීම වැරදි දත්ත මත ගත් තීරණයක් බව වත්මන් විදුලි ගාස්තු අඩු කිරීමෙන් ඔප්පු වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 66 කින් ගාස්තු වැඩිකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළත් ඒ අවස්ථාවේ සැබෑ පිරිවැය දත්ත සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සියයට 30 කින් පමණ වැඩි කළ යුතු බව තමන් ප්‍රකාශ කළ බව ද ඒ මහතා කීය.

ජනක රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

දේශපාලන බලපෑම් මත කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනෙක් ලංවිම ඉදිරිපත් කර තිබූ යෝජනාව ඒ ආකාරයටම අනුමත කළා. අද ඔවුන් විසින්ම ලංවිම දත්ත වැරදි බව පිළිගෙන තිබෙනවා. ඒ නිසා තමයි ලංවිම සියයට 3 කින් විදුලි ගාස්තු අඩු කිරීමට ඉදිරිපත් කළ යෝජනාව වෙනුවට සියයට 14 කින් ගාස්තු අඩුකරන්නට තීරණය කර ඇත්තේ. එදා ගාස්තු වැඩි කිරීමට මා එරෙහි වූ නිසා පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියලා මාව තනතුරෙන් පහ කළා. සභාපති තනතුර කැපකිරීම ගැන මම අද සතුටු වෙනවා. මන්ද අවසානයේදී මා පෙනී සිටි තර්කය සියලු දෙනා විසින් පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපති අතුළු සාමාජිකයන්ට මා ප්‍රශංසා කරනවා. මන්ද කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීමට එදා මා ගත් පියවර ඔවුන් විසින් ද අද අඛණ්ඩව ඉදිරියට ගෙනයන නිසා. සමස්ත විදුලි පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කොමිෂන් සභාව විසින් පියවර ගැනීම අගය කළ යුතුයි.

මෙවර ගාස්තු සංශෝධනයේදී යම්තාක් දුරකට සාධාරණය ඉටුවී තිබෙනවා. ජල විදුලියෙන් වාර්ෂිකව ජනනය කරන විදුලි ප්‍රමාණය ගිගා වොට් පැය 5000 කට ආසන්නයි. ඒ එක ඒකකයක පිරිවැය රුපියල් 5 කට අඩුයි. අඩු පරිභෝජනයක් ඇති ගෘහස්ථ පරිභෝගිකයන් ලක්‍ෂ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව පරිභෝජනය කරන විදුලිය ප්‍රමාණය ගිගා වොට් පැය 2000 කට අඩුයි. 45000 ක් වන ආගමික ස්ථානවල වාර්ෂික විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 90 ක් පමණ වෙනවා. ඉතින් මේ සියලු දෙනාට ඉතා අඩු මිලකට විදුලිය සැපයිය හැකියි. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ද හැකි තරම් සාධාරණ ගාස්තුවක් ලබාදිය හැකියි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment