ඉබ‍්‍රාහිම්ගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නවා… එය තඹ නිෂ්පාදනය කරන ස්ථානයක් කරනවා… කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

250

මේ වන විට රාජසන්තක කර ඇති පාස්කු ඉරිදා අමානුෂික ක‍්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ‍්‍රාහිම් පවුලට අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමගින් එය මෙරට තඹ ආශ‍්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ‍්‍රයෙහි පෙරේදා (16 වැනිදා) නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක‍්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ‍්‍රාහිම් පවුලට අයත් දේපළක් බව. එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්තශාලාව පවත්වා ගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට. මෙහි සියලූ යන්ත‍්‍ර සූත‍්‍ර තිබෙන්නේ තඹ ආශ‍්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත‍්‍ර සූත‍්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප‍්‍රයෝජනයක් ගත යුතුයි.

එමගින් මෙරට තඹ ආශ‍්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment