ඉම්රාන් පාර්ශ්වයට – ආණ්ඩු හදන්නට හමුදාව ඉඩ නොදෙයි

5470

පෙබරවාරි 8 වැනිදා පැවති මැතිවරණය දූෂණ අක්‍රමිකතාවලින් පිරි එකක් වුවත් ඇමරිකාව මේ මැතිවරණය හෙලා නොදැක්කේ එයින් හමුදාවේ අවශ්‍යතාව ඉටුවූ නිසාය. රාවල්පින්ඩි ප්‍රදේශය භාර මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ එම කලාපයේ මැතිවරණ ආසන 13කම ප්‍රතිඵල වෙනස් කර ඇති බවයි. නමුත් මේවාට එරෙහි විය නොහැක්කේ හමුදාව සියල්ල පිටුපස සිටින නිසාය.

ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත්කරනු ලැබුවේ 2022 වසරේ අප්‍රේල් මස 09 වැනිදා පැවති විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟය. මන්ත්‍රී ආසන 342 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 174 ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකිවිය. පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වූ ඉම්රාන් 2018 දී අගමැති ලෙස තේරී පත් වූ අතර දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථිකය නිවැරදි කිරීමට පොරොන්දු විය. නමුත් ඔහු බලයට පත්කළ එරට බලවත් හමුදාව අගමැතිවරයා සමග අමනාපවීම නිසා ඔහුගේ ඉරණම කණපිට හැරිණි. අද ඉම්රාන් සිරගතව සිටින්නේද ඔහුගේ පක්ෂයට හිතවත් කණ්ඩායම් පසුගිය මැතිවරණයෙන් වැඩිම ආසන ලබා ගත්තද ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත්තේද හමුදාවේ අකැමැත්ත නිසාය. රුසියාවට සහ චීනයට එරෙහි ප්‍රශ්නවලදී වොෂින්ටනය සමඟ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව ඉවත් කිරීමට ඇමෙරිකාව කුමන්ත්‍රණය කළ බව ඉම්රාන් ඛාන් පැවසුවේ මීට වසර දෙකකට පෙරය. ඇමෙරිකාව පෙනී සිටින්නේ පාකිස්තාන ආණ්ඩුව වෙනුවෙන් නොව හමුදාව වෙනුවෙනි. 2022 වසරේ රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කරන දිනයේ හිටපු අගමැති ඉම්රාන් රුසියානු අගනුවරදී ජනපති පුටින් හමුවිය. මේ හමුව පිලිබදව එරට ජෙනරාල්වරු කිසිම කැමැත්තක් දැක්වූයේ නැත. මේ නිසාම හමුදාව හා සිවිල් අගමැති අතර ආරවුල ගැටුමක් දක්වා වර්ධනය විය. පෙබරවාරි 8 වැනිදා පැවති මැතිවරණය දූෂණ අක්‍රමිකතාවලින් පිරි එකක් වුවත් ඇමරිකාව මේ මැතිවරණය හෙලා නොදැක්කේ එයින් හමුදාවේ අවශ්‍යතාව ඉටුවූ නිසාය. රාවල්පින්ඩි ප්‍රදේශය භාර මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ එම කලාපයේ මැතිවරණ ආසන 13කම ප්‍රතිඵල වෙනස් කර ඇති බවයි. නමුත් මේවාට එරෙහි විය නොහැක්කේ හමුදාව සියල්ල පිටුපස සිටින නිසාය.

බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී අපේක්ෂකයන්ට වඩා අඩු ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති පකිස්තාන මුස්ලිම් ලීගය-එනම් නවාස් පක්ෂය හා පකිස්ථාන මහජන පක්ෂය එක්ව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කර තිබේ. ඉදිරියේදී නව අගමැති ලෙස නවාෂ් ෂරිෆ් ගේ සොහොයුරා වන ශේබාෂ් ෂරිෆ් දිවුරුම් දෙනු ඇත. බෙනාසීර් භූතෝ ගේ පුත්‍රයා එනම් බිලාවල් භූතෝගේ පක්ෂය වන පකිස්තාන මහජන පක්ෂය ඇමැතිධුර භාර නොගෙන නව ආණ්ඩුවට සහාය දෙන බව සැලය. මේ වෙනුවෙන් ඉදිරියේදී ජනපති ධුරය බෙනාසීර් භූතෝ ගේ ස්වාමිපුරුෂයා වන අසිෆ් අලි සර්දාරි වෙත ලබා දෙනු ඇත. මේ සියල්ල සිදුවන්නේ හමුදාපති අසීම් මුනීර් ගේ කැමැත්ත මත වීම සුවිශේෂය. ඞ හි, පණිවිඩයක් තබමින් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පවසා ඇත්තේ නව සභාගය “ජනවරම සොරාගත්” පිරිසක් විසින් පිහිටුවනු ලබන බවයි. ඔවුන් චෝදනා කරන්නේ තම ආධාරකරුවන් බලයෙන් ඈත් කිරීම සඳහා ඡන්දය වංචා කර ඇති බවයි.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ පකිස්තාන ටෙරීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) වෙත එල්ල වූ බොහෝ බාධක නොතකා එම පක්ෂයේ සහය ඇති ස්වාධීන අපේක්ෂකයින් ජාතික සභා ආසන 256න් 93ක් දිනා ගත් අතර තනි පක්ෂයක් දිනා ගත් වැඩි ම ආස ගණන ද බවට පත් විය. කෙසේ වෙතත් එය ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 169ක සරල බහුතරයට වඩා බෙහෙවින් අඩු ය. හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (පීඑම්එල්-එන්) ආසන 75ක් දිනා දෙවන ස්ථානයට පත්විය. ඔහුට එරට බලගතු හමුදාවේ සහය ලැබිණි. කලකදී හමුදාව විසින්ම බලයෙන් පහකර දැමු හෙතෙම මෙවර හමුදාවේ සුරතලා විය. කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන බිලාවල් භූතෝ සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන මහජන පක්ෂය (පීපීපී) ආසන 54ක් ලබා තුන්වන ස්ථානයට පත්විය. පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලන පක්ෂ විසින් පෙබරවාරි 29 වන දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටුවනු ලැබිය යුතු ය. ජාතික සභාවට ආසන 366ක් ඇති අතර, ඉන් 266ක් ඍජු ඡන්දයෙන් තීරණය වන අතර කාන්තාවන් සඳහා 60ක් ලෙසත්, මුස්ලිම් නොවන අයට 10ක් ලෙස ත් ආසන 70ක් වෙනම වෙන් කර ඇත. මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කෙරේ.

1947 දී ඉන්දියාවෙන් වෙන්වීමෙන් පසු එහි පාකිස්තාන ඉතිහාසයෙන් අඩකට ආසන්න කාලයක් ජෙනරාල්වරුන් රට පාලනය කර තිබේ. මේ මැතිවරණයෙන් කිසිවෙකු පැහැදිලි ජයක් ලබා නැති නිසා හමුදා ප්‍රධානී ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කවරක්ද? “පරිණතභාවය සහ එකමුතුකම” පෙන්වන ලෙස එරට දේශපාලන නායකයන්ට ආයාචනා කර සිටියේය. “මැතිවරණ යනු ජයග්‍රහණ සහ පැරදුම පිළිබඳ ශුන්‍ය එකතුවක් නොව ජනතා වරම තීරණය කිරීමේ ව්‍යායාමයක් පකිස්තානයේ ජනතාව තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින්, දේශපාලන පරිණතභාවයෙන් සහ එකමුතුකමෙන් ඊට පිළිතුරු දීම සියලු දේශපාලන පක්ෂවලට දැන් පැවරී ඇති වගකීමකි. මිලියන 250 ක ජනතාවක් සිටින ප්‍රගතිශීලී රටකට අරාජිකත්වයේ දේශපාලනයෙන් ඉදිරියට යෑමට නොහැකි අතර ජාතියට ස්ථාවරත්වය අවශ්‍ය වේ.” යනුවෙන් පාකිස්තාන හමුදාපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. දැන් සිදුවන්නේද ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් න්‍යාය පත්‍රයට අනුව සියලු කටයුතු සිදුවීමය.

පසුගිය වසරේ මැයි මාසයේ එක් ඉරිදා දිනයක ලාහෝර් නුවර පැවති රැලියක් අමතමින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළ කරුණු කිහිපයක් නිසා එරට බලවත් හමුදාව කලබලයට පත්විය. සිය වෙඩි නොවදින වාහනයේ සිට රැස්ව සිටි පිරිස ඇමතූ ඉම්රාන් පවසා සිටියේ පාකිස්තාන හමුදාවේ බුද්ධි අංශයේ සේවය කරන මේජර් ජෙනරාල් ෆයිසාල් නසීර් දෙවරක් තමා ඝාතනය කිරීමට උත්සාහ ගත් බවත් එසේම ප්‍රකට මාධ්‍යවේදී අර්ශාඩ් ෂරිෆ් ඝාතනය කරනු ලැබුවේ ද මේ ජෙනරාල්වරයාගේ උපදෙස් මත බවත්ය. පශ්තුන් ගෝත්‍රික හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශය හමුදාවේ ඇස් රතුකරවන්නක් විය. එනිසාම රාවල්පින්ඩි හමුදා මූලස්ථානය සැර නිවේදනයක් නිකුත් කරමින් ඉම්රාන්ගේ ප්‍රකාශය හෙළා දුටුවේය.

පාකිස්තාන හමුදාවේ මෙම නිවේදනය නිකුත් කළ දිනට පසුදින එනම් 2023 මැයි 09 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී ඉම්රාන් අත්අඩංගුවට පත්විය. රූපවාහිනි දර්ශනවලින් දැක්වුණේ, අතුරු හමුදා සාමාජිකයන් සිය ගණනක් ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගන්නා අයුරුයි. මෙය නාටකයක් හා සමාන විය. ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගිය අතර පුද්ගලයන් 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මැයි 09 වැනිදා පාකිස්තාන ඉතිහාසයේ පළමු වරට එරට ජනතාව හමුදාවට එරෙහිව පාරට බැස විරෝධතා දක්වන්නට වූවා පමණක් නොව හමුදා කඳවුරුවලටද පහර දෙන්නට විය. පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ තුනකින් එරට බලය අල්ලා ගැනීමට ජෙනරාල්වරු සමත් වුවත් ඒ කිසිම අවස්ථාවක මහජනයා හමුදාවට එරෙහිව වීදී බැස්සේ නැත. නමුත් මෙවර ඉම්රාන්ගේ ආධාරකරුවෝ හමුදාවට එරෙහිව කැරලි ගසන්නට වූහ. ඇත්තෙන්ම පාකිස්තානය මෙහෙයවන්නේ සිවිල් ආණ්ඩුව නොව හමුදාව බව ප්‍රකට කරුණකි. එහෙත් මෙලෙස හමුදාවට එරෙහි ජනතා විරෝධයක් කිසිදා සිදුව නැත. මෙය එරට කම්පනය කිරීමට සමත්විය. මීට වසර කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු බලය අල්ලා ගැනීම පිටුපස විශේෂ කාර්යභාරයක් සිදුකළේ ජෙනරාල් ෆයිසාල් හමීඩ් වේ. නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී අන්තර් සේවා බුද්ධි අංශයේ (අයිඑස්අයි) නව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන හමුදාව අතර ගැටුමක් මතු විය. ඛාන්ට අවශ්‍ය වූයේ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් දිගටම එම තනතුරේ සිටීමයි. ඒ ඉදිරි මැතිවරණයේ ජය තහවුරු කර ගැනීම පිණිසය. නමුත් 2021 නොවැම්බර් මාසයේදී ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ අගමැතිගේ මතය ඉවත දමමිනි. මේ නිසා අගමැති දෙකේ කොළයට වැටිණි.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිරදඬුවමක් පනවා තිබුණේ පසුගිය ජනවාරි මස අගදීය. එය සිදු වූයේ ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වසර 10ක සිර දඬුවම නියම කිරීමෙන් දිනකට පසුවයි. හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගතව සිටින නිසා 2024 මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් විය. හමුදාවේ උදහස කෙතරම් පාරාවළල්ලක් වී ඇත්දැයි මෙයින්ම වටහා ගත හැකිය.

කවරක් නමුත් ඉදිරියේදී නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 06 ණයක් ඉල්ලා තිබේ. මේ ණය නොපැකිලව ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇත්තේ ඇමෙරිකාව නව ආණ්ඩුව පිටුපස සිටින නිසාවෙනි. හමුදාව උරණ වූ මොහොතක මේ නව ආණ්ඩුවත් මඩේ ඉන්දවූ රිටක් මෙන් සෙලවෙනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment