ඉරාකයේ බෝම්බ පිපිරීමකට වරදකරුවන් වූ තිදෙනකු එල්ලයි

234

ඉකුත් 2016 වසරේදී පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැඳවමින් හා තවත් සිය ගණනකට තුවාල සිදු කරමින් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ මෝටර් රථ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයිසිස් ත්‍රස්තවාදී කණ්ඩායමට (ඉස්ලාමික් ස්ටේට්) අයත් පුද්ගලයන් තිදෙනකු එල්ලා මරා දැමීමට ඉරාක බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙසේ එල්ලා මරා දමා ඇති අයිසිස් ත්‍රස්තවාදීන් තිදෙනා අතර අදාළ බෝම්බ පිපිරීම මෙහෙයවූ මහා මොළකරු සේ සැලකෙන ගස්වාන් අල් සව්බේ නමැත්තා ද සිටින බව ඉරාක රජයේ බලධාරීන් විසින් ප්‍රංශ පුවත් සේවයට (ඒඑෆ්පි) පවසා ඇත. කෙසේ වුවද ඉරාක රජය විසින් එල්ලා මරා දමා ඇති ත්‍රස්තවාදීන් තිදෙනාගේ නම් ප්‍රසිද්ධ කර නොමැත.

ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුදානිගේ කාර්යාලය විසින් නිවේදනය කර ඇත්තේ 2016 වසරේ ජුලි මස 03 වැනිදා ඉරාක අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් සිටින කරාඩා ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකු ඉකුත් ඉරිදා (27දා) හෝ සඳුදා (28දා) එල්ලා මරා දැමූ බවයි. පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පුපුරවා හැරීමෙන් සිදු කර තිබූ අදාළ බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරු සේ සැලකෙන ගස්වාන් අල් සව්බේ අල්ලාගෙන ඉරාකයට රැගෙන විත් ඇත්තේ 2021 වසරේදීය. බෝම්බ පිපිරවීම සිදු වීමෙන් පසු එවකට ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාව සිටි මොහොමඩ් ගබ්බාන් සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඉස්ලාමිය ශුද්ධ වූ රාමදාන් මාසය තුළ ජනතාව විසින් ප්‍රීතියෙන් ගත කළ රාත්‍රියක සිදු වූ අදාළ බෝම්බ පිපිරීම 2003 වසරේ සිදු වූ ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේ සිදුවීමෙන් පසු එරට සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය සේ සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment