උදේ මිනී මරලා සවස ඩුබායි පනිනවා – වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

144

පාතාලයේ 1091 ක්… ඉන්නවා
අපි ඔවුන් මර්දනය කරනවා

රටේ තියෙන ප්‍රශ්න අතුරින් ලොකුම ප්‍රශ්නයක් බවට කුඩු සහ පාතාලය පත්ව ඇති බවත් මෙම මස 17 වැනිදා සිට කුඩු හා පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය පාරට බැහැලා එය අවසානය දක්වාම ගෙනියන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගාල්ල රත්ගමදී පැවසීය.

සිවිල් ආරක්ෂක කමිටු නායකයන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවති මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙසේද කීවේය.

ලංකාවේ පාතාලයට සම්බන්ධ අයගේ තොරතුරු ඇතුළත් කරලා දත්ත පද්ධතියක් හදලා තියෙනවා. පාතාලයට සම්බන්ධ අය 1091ක් ඉන්නවා. මේ අයගේ අලගිය තැන් මුලගිය තැන් සේරම අපි හොයාගෙන තියෙන්නේ. කවුද නීත්‍යානුකූල නොවන, කවුද අනියම් නොවන, කොහොද රාත්‍රියට නිදා ගන්නේ. කෑම කන්නේ කොහෙන්ද බැංකු ගිණුම් තියෙන්නේ කොහෙද? මේ සියල්ල හොයාගෙන තියෙන්නේ. මේ අය අතුරින් 583 දෙනකු විදේශීය ගමන් බලපත්‍ර අරගෙන ඉන්නවා. උදේ වෙඩි තියලා මරලා හවසට ඩුබායි යනවා. ඒවගේ පාතාල නායකයන් තිදෙනකු ඉන්නවා. ගණේමුල්ල සංජීව මිනීමැරුම් 23ක් කළා කියා පිළිගන්නවා.

මෙම වර්ෂයේ බස්නාහිර පළාතේ පාතාල ක්‍රියාකාරකම් 34ක් සිදුවෙලා තියෙනවා. දකුණු පළාතේ 26ක් සිදුවෙලා තියෙනවා. ලංකාවේ දෙවැනියට පාතල ක්‍රියාකාරකම් වැඩියෙන් සිදුවෙලා තියෙන්නේ දකුණු පළාතේ. පළාත් 05ක තමයි පාතාල සෙල්ලම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පාතාලය මර්දනය කිරීම මෙම පළාත් 05 තුළ තමයි මූලික වශයෙන් ක්‍රියාත්මක විය යුත්තේ. දකුණු පළාත තුළ පාතාලය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ වරුණ ජයසුන්දර මහතාගේ සහයෝගය ඇතිව විශේෂ මෙහෙයුමක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ පොලිස් ස්ථාන 608ක් පාතාල සෙල්ලම් සිදුවෙලා තියෙන්නේ පොලිස් ස්ථාන 43ක. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් එය සියයට හතයි. පොලිස් ස්ථාන සියයට 93ක සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක වෙලා නැහැ. පාතාලය පරාජය කරන්න බැරි අභියෝගයක් නෙවෙයි. ඉතාම පහසුවෙන් පාතාලය පරාජය කරන්න පුළුවන්. ලංකාවෙන්ම පාතාලය නැති කිරීම සඳහා අපිට තිබෙන කාර්යභාරය මහ විශාල එකක් නෙවෙයි. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 126ක් තියෙනවා. පොලිස් ස්ථාන 24ක පමණයි පාතාලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දකුණු පළාතේ පොලිස් ස්ථාන 69ක් තියෙනවා පොලිස් ස්ථාන 17 ක තමයි පාතාලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ යැයිද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment