ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය 13 වන උපාධි ප්‍රදානෝත්සවය හෙට

192

එදා මෙදා තුර වසර 18 ක් පමණ වූ කාලයේ දී අනෙකුත් විශ්වවිද්‍යාල හා සැසඳීමේදී වඩාත් ආවේණික ගති ලක්ෂණ කිහිපයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සතුවන අතර, ඒවා විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සඳහා බෙහෙවින් පිටිවහල් වී ඇත. භෞතික සම්පත්වල කේන්ද්‍රීය පරිශීලනය, සියලු උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම, විෂය කේන්ද්‍රීය දැනුමට අමතරව පුළුල් සාමාන්‍ය දැනුම ලබාදීම සහ අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම, පෝස්ටර් සහ කටවුට් වලින් තොර හරිත භූමියක් පවත්වාගෙන යෑම, ඇතැම් ප්‍රධාන සේවා බාහිර අංශ මගින් ලබාගැනීම හරහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මකභාවයෙන් ඉහළ සේවයක් නිරතුරුව සපයාදීම ඉන් ප්‍රධාන කිහිපයකි. මේ සියල්ල ඔස්සේ වඩාත් ඵලදායි සේවාවක් මගින් වෙනස් ආරයක විද්‍යාර්ථයින් බිහිකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය උත්සහ දරන අතර එය කාගේත් අවධානයට හා ප්‍රසාදයට ලක්වීමට තුඩුදී ඇත.

ඉගැන්වීම හා උපදේශනය, පර්යේෂණ කිරීම සහ සමාජ සේවා කටයුතුවල නියැළීම අපගේ තෙවදෑරුම් සේවාවන් වන අතර, ඒ අනුව වඩාත් සුභවාදී හෙට දවසක් වෙනුවෙන් බාහිර පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා (දැනට පවත්වාගෙන යන පාඨමාලාවලට අමතරව), විවිධ පුහුණුවීම් (කෙටි සහ මධ්‍ය කාලීන) සහ උපදේශන සේවා ඔස්සේ බාහිර සිසුන් සහ අනෙකුත් අවශ්‍ය පුද්ගලයන් සඳහා අධ්‍යයන සහ සේවා අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් අපගේ මූලික අරමුණ වන ජාතික සම්පත්වලට අගය එකතු කොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකවිය හැකි විද්වතුන් නිර්මාණය කිරීම වෙත ළඟාවීමට පහසුවනු ඇතැයි අපි විශ්වාස කරමු. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත ද මෙහිදී එකලෙස වැදගත් කොට සැලකේ.

මෙවර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය 13 වන උපාධි ප්‍රධානෝත්සවය 2024 මාර්තු මස 15 වන දින රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී විශ්වවිද්‍යාලීය නව කුලපති මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතාගේ සුරතින් සිදුවීමට නියමිතය. මේ සඳහා උපකුලපති මහාචාර්ය කෝලිත විජේසේකර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම පරිදි සියලු මූලික කටයුතු සංවිධානය කොට ඇති අතර විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඒ සඳහා සහභාගිවෙමින් උපාධි අපේක්‍ෂකයන් දිරිගැන්වීමට සහ ඔවුන්ට සුබ පැතීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව 13 වන උපාධි ප්‍රධානෝත්සවය සඳහා මූලික උපාධි 13 ක්, දර්ශනපති උපාධිය (පර්යේෂණ) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගැනීම සඳහා උපාධි අපේක්‍ෂකයන් 667 සහභාගි වේ. පීඨ වශයෙන් ගත් කල සත්ත්ව පාලන විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය මගින් මූලික උපාධි පාඨමාලා පහක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 199 දෙනෙකුට ද, ව්‍යවහාරික විද්‍යාපීඨය මගින් මූලික උපාධි පාඨමාලා හතරක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 179 දෙනෙකුට ද, කළමනාකරණ පීඨය මගින් මූලික උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 103 දෙනෙකුට ද, තාක්ෂණික අධ්‍යන පීඨය මගින් මූලික උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 139 දෙනෙකුට ද මෙම උපාධි උළෙලේ දී මූලික උපාධි පිරිනැමෙනු ඇත. එමෙන්ම පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් 08 දෙනෙකු මෙවර දර්ශනපති උපාධිය ලබන අතර ඒවා පිරිනමනු ලබන්නේ සත්ත්ව පාලන විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය සහ ව්‍යවහාරික විද්‍යාපීඨය මගිනි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගැනීමට පශ්චාත් උපාධි අපේක්‍ෂකයෝ 39 දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටිති. මීට අමතරව විවිධ පීඨ, අධ්‍යනාංශ, උපාධි පාඨමාලා සහ විශේෂිත විෂය ධාරා ඔස්සේ සුවිශේෂ දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් රන් පදක්කම් සහ සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.

මෙවර උපාධි ප්‍රධානෝත්සවය ප්‍රධාන සැසිවාර දෙකක් වශයෙන් පැවැත්වෙන අතර පළමු සැසියේ ආරාධිත දේශනය ඉන්ෆොමේට් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සහ ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සංගමයේ සභාපති ජෙහාන් පෙරින්පනායගම් මහත්මා විසින් ද, දෙවන සැසියේ ආරාධිත දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහත්මා විසින් ද සිදු කිරීමට නියමිතය.

අපගේ පිළිගැනීමට අනුව විශ්වවිද්‍යාලය සතු වඩාත්ම වටිනා සම්පත වනුයේ එහි අධ්‍යන කටයුතු කරන තරුණ විද්‍යාර්ථයින් පිරිසය. එමනිසා, ගුණයෙන් නැණයෙන් පිරිපුන් විද්‍යාර්ථයින් රටේ අවශ්‍යතාවයට පෙළගැස්සවීම අප සම්මුඛයේ ඇති එක්තරා අභියෝගයකි. සරසවි සෙවණේ දස්කම් විස්කම් පෑ විද්‍යාර්ථයින් ගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ලැබීම ආචාර්යවරුන් ලෙස අප

ලබන අතිමහත් සතුටකි. එබැවින් එළැඹෙන දහතුන්වන උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි ලබාගන්නා සියලු උපාධි අපේක්‍ෂකයන්ගේ සියලු කටයුතු සඵල වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔවුන් නුදුරු අනාගතයේදී රටේ සංවර්ධනයේ පෙරගමන් කරුවන් වෙනු දැක්ම අපගේ හුදෙක්ම අපේක්‍ෂාව වේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය 13 වන උපාධි ප්‍රදානෝත්සවය හෙට

මහාචාර්ය සමන් කේ. හේරත්
පීඨාධිපති, සත්ත්ව පාලන විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment