මැටි වළඳ කටුගෙට?

447

මැටි වළඳේම ජීවිතය දියවුණු නිකපොත පවුල් 60 ක් දුෂ්කරතා හමුවේ හඬා වැටෙති

ගැටලු රැසක් හේතුවෙන් මේ වන විට කඩාවැටීමට ලක්වීම නිසා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්ලන්ද, නිකපොත මැටි වළං කර්මාන්තයේ යෙදෙමින් සිය ජීවිතය ගොඩගත් මැටි වළංකරුවෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්ලන්ද, නිකපොත ගම්මානයේ පදිංචි පවුල් හැටක් පමණ සිය ජීවන වෘත්තිය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවටම මෙම මැටි කර්මාන්තයේ යෙදෙමින් සිය ජීවනෝපාය සරිකර ගනිමින් සිටිති.

මැටි වළඳ කටුගෙට?
මැටි වළඳ කටුගෙට?

නමුත් මේ වනවිට මැටි ලබාගැනීමට ඇති දුෂ්කරතාවයත්, කකුල්වලින් මැටි පෑගීමේ අසීරුතාවයත්, දර සහ පිදුරු මෙන්ම පොල්ලෙලි මිල ඉහළ යෑමත්, විදුලිබිල විශාල ලෙස ඉහළ යෑමත්, තමන් නිෂ්පාදනය කරන මැටි වළං සඳහා වෙළඳපොළන් නිසි මිලක් නොගෙවීමත් නිසා මේ වනවිට මෙම මැටි කර්මාන්තයේ යෙදෙන පිරිස දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතයි එම පිරිස කියති.

මැටි වළං කර්මාන්තයේ නිරත වන උදය කුමාර මහතා,

මැටි වළං සෑදීම සඳහා යෝග්‍ය පස් කොස්ලන්ද ප්‍රදේශයේ නැති නිසා එම පස් වැල්ලවාය, වරුණගම යන ප්‍රදේශයන්ගෙන් රැගෙන ඒම සිදුකරන අතර ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා විශාල වියදමක් දැරීමට සිදුවීමත් මත මේ වනවිට මෙම මැටි වළං කර්මාන්තය සිදු කිරීමෙන් ජීවත්වීමට නොහැකි තත්ත්වයක් මතුවෙලා තියෙන්නේ. ඉන්ධන මිල ඉහළ ගිය නිසා මැටි පස් ප්‍රවාහනයට අපිට විශාල වියදමක් දරන්න වෙලා. අනෙකුත් වියදමුත් දැන් ගොඩක් වැඩියි. අපේ මැටි වළං වලට ඉල්ලුම තියෙන්නේ සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මාස වල. දැන් අපි ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නේ. මේ සැරේ අලුත් අවුරුද්දටවත් අපිට සුබවෙයි කියලා. දැන් මිනිස්සු මැටි වළං ගන්න හිත යොමු කරන්නේ නැහැ. ඒ අය ඒ මුදල් වලිනුත් ගෙදරට අවශ්‍ය හාල් බඩු ගන්න තමයි බලන්නේ. මිනිස්සු ඔක්කොටම අමාරු කාලයක් මේක. විදුලි බිල වැඩිවීමත් අපිට බලපෑවා. සකපෝරු වලට යන විදුලියත් වැඩියි. පුළුවන් නම් අපේ මේ කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න විදුලි බිලට හරි සහනයක් දෙන්න.

මැටි වළඳ කටුගෙට?

නිකපොත ප්‍රදේශයේ පදිංචි ශෂි කුමාර මහතා, අපි මේ කුඹල් කර්මාන්තය කරගෙන එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒත් දැන් ගොඩක් අය මේ කර්මාන්තයෙන් ඈත් වෙනවා. ඒ මේ කර්මාන්තයේ දැන් කරන්න වෙලා තියෙන වියදම් හා අනෙකුත් ප්‍රශ්න නිසා. වෙළඳපොළේ ඇළුමීනියම් භාණ්ඩ පුරවලා තියෙන්නේ. අපිට ඒවත් එක්ක තරග කරන්න වෙලා. අපි ගිහින් කඩවල් වලට වළං දැම්මාම අපිට දෙන්නේ මාස ගණන් දාපු චෙක්. ඒවා මාරුකරගන්න බලන් ඉන්න ඕනි. අපි මේ කර්මාන්තයේදී මැටි පාගන්නේ කකුල් වලින්. නිතර පාද අනතුරුවලට ලක්වෙනවා. මැටි පාගන යන්ත්‍රයක් හරි රජයෙන් අපිට දෙනවා නම් ඒක ලොකු දෙයක්. මැටි වළං සෞඛ්‍ය ආරක්ෂිතයි කෑම පිසිමේදී. මේ බව පාරිභෝගිකයන් දැනුවත් කරන්න යම් වැඩපිළිවෙළක් සකස්කරනවා නම් අපේ නිෂ්පාදන වලට හොඳයි. මේ කර්මාන්තයත් දැන් නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනි. නැත්තම් මේ කර්මාන්තය අපේ පරම්පරාවෙන් පස්සේ නැතිවෙලා යයි. අපි ඉල්ලන්නේ බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා මේ කර්මාන්තය ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය සහය මේ නිකපොත මැටි කර්මාන්තයේ නිරත පිරිස් වලට ලබාදෙන ලෙසයි.

ශිව කුමාර් මහතා, මේ අපේ නිෂ්පාදන අලෙවි කරන්න අපි කඩයක් කඩයක් ගානේ යනවා. එහෙම ගියත් දැන් පහුගිය කාලයේ මැටි වළං සියයක් ගත්තා නම් දැන් ගන්නේ හතළිහක් විතර. ඉල්ලුම හොඳටම අඩුවේගෙනයි යන්නේ. රජයට මැදිහත්වෙන්න කියලා අපි ඉල්ලනවා. මේ අපේ නිෂ්පාදන අලෙවි කරගන්න යම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා. අපේ දරු පවුල් පෝෂණය කරන්නේ මේ කර්මාන්තයෙන් උපයාගන්නා මුදලින්. අපිට හුරු මේ කර්මාන්තය. මේක අත් හැරියොත් අපිට ජීවත් වෙන්න වෙන මාර්ගයක් නැහැ. මේක පාරම්පරික කර්මාන්තයක්. අපිට අවශ්‍ය පහසුකම් දීලා නව තාක්ෂණයත් මේ කර්මාන්තයට හඳුන්වලා අලෙවි කරණයටත් යම් වැඩපිළිවෙළක් සකසා දෙන්නේ නම් මේ කුඹල් කර්මාන්තය ඉදිරියටත් රැකිලා තියෙයි. එසේත් නැත්තම් මේ කර්මාන්තයේ දැනට නිරතවෙලා ඉන්න සුළු පිරිසත් මේ කර්මාන්තය අත්හරීවි.

බොරලන්ද – සමන්ත කුමාර සහ බණ්ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම

advertistmentadvertistment
advertistmentadvertistment