මියගිය සමනුත් පාතාලයට සම්බන්ධයි

බූස්සේ හර්ෂ නිහඬ අපරාධකරුවෙක්

අවුරුදු ගණනක කෝන්තරයක්

දිනය පසුගිය 21 වැනිදා ය. වේලාව උදෑසන 8.00 පසුවී තිබුණි. අපේ ජනබලවේගය පක්‍ෂයේ සභාපති සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස්දෙනෙක් ඩිෆෙන්ඩර් රථයකින් තංගල්ල බලා ගමන් කරමින් සිටියහ. ඩිෆෙන්ඩර් රථය බෙලිඅත්ත පිවිසුම් මාර්ගයෙන් එළියට දැමුවේ තංගල්ල බලා පිටත්වීමටයි.

රෝයල් බීච් සමන් ඇතුළු පිරිස එදින තංගල්ල බලා පිටත්වුණේ අධිකරණයේ විභාග වෙමින් තිබූ මනුෂ්‍ය ඝාතන නඩුවකට පෙනී සිටීමටයි. දක්‍ෂිණ අධිවේගයෙන් එළියට දමනවාත් සමඟ සමන් පෙරේරා පැවසුවේ “තේ එකක් බීලම යමු තව වෙලා තියෙනවානේ උසාවිය පටන් ගන්න” ඒ අනුව ඩිෆෙන්ඩර් රය පිවිසුම් මාර්ගය අසල තිබූ කඩයක් ළඟ නතර කළේය. තිදෙනෙක් ඉන් බිමට බැස ගත්හ. ඒ සමඟම විදුලි වේගයෙන් පැමිණි ජීප් රථයක් ඩිෆෙන්ඩර් රථය ඉදිරියේ එක්වරම නතර කෙරිණි.

ගතවූයේ තප්පර කිහිපයකි. ජීප් රථයෙන් පුද්ගලයන් දෙදෙනෙක් බැස ගත්තේ ටී. 56 ගිනි අවි දෙකක් ද සමගිනි. එලෙස පැමිණි දෙදෙනාගෙන් කෙනෙක් ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු අසුනේ සහ පිටුපස අසුනේ සිටි දෙදෙනාට වෙඩි පිට වෙඩි තැබූහ. අනෙක් පුද්ගලයා හෝටලය දෙසට ගිය තිදෙනාට වෙඩි තැබීමට සැරසුණේය. තප්පර කිහිපයකට කලින් ඇසුනු වෙඩි හඬ නිසා එම තිදෙනා හෝටලය දෙසට දිව යෑමට සැරසුණේ ජීවිතය ගලවා ගැනීමටයි. එහෙත් දෙදෙනකුට හෝටලය තුළට යෑමට නොහැකි විය. ඒ ඔවුන් දෙදෙනාට වෙඩි පිට වෙඩි තැබූ නිසා ය. ඒ අතර කාලය තුළ අනෙක් පුද්ගලයා හෝටලය තුළට පැන ගත්තේය.

හෝටල් හිමිකාරිය සහ ඇගේ පුතා වෙඩි ශබ්ද සහ කෑ ගැසීම් අස්සේ සිදුවන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකිව තුෂ්ණිම්භූතව බලා සිටියහ. එවිට ඔවුන් දුටුවේ එක්වරම හෝටලය දෙසට දිව එන පුද්ගලයෙකි. ඔහු පිටුපස තුවක්කුවක් අමෝරාගත් පුද්ගලයෙකි. හෝටල් හිමිකාරිය සහ ඇයගේ පුතා ඉතාමත් බියට පත්විය. ඔවුහු මරණ බියෙන් වෙව්ලා ගියහ. බියවී සිටින එම දෙදෙනා දුටු තුවක්කුකරු පැවසුවේ “ඔහොම පාත් වෙන්න” කියා ය.

එක තැන පහක් මරපු බෙලිඅත්තේ ගේම ගැස්සෙව්වේ කොස්ගොඩ සුජී

අම්මා සහ පුතා තුවක්කුකරු කියූ අයුරින්ම බිමට පාත් වී කන් දෙක වසා ගත්හ. ඒ ක්‍ෂණයෙන්ම වසාගත් කන් දෙදරවමින් තවත් වෙඩි හඬ කිහිපයක් හෝටලය තුළින් ඇසුණි. ඒ සමඟම මරලතෝනි දෙමින් පුද්ගලයකු බිම වැටෙන හඬ යාන්තමට මෙන් ඔවුනට ඇසුණි.

තුවක්කුකරුවන් දෙනොගෙන් කෙනෙක් වැඩේ හරි වැඩේ හරි එකෙක්වත් ඉතුරු වෙලා නැහැ. ඉක්මනට අපි මාරුවෙමු යැයි පැවසුවේය. ඒ අනුව ක්‍ෂණයකින් ඔවුන් පැමිණි ජීප් රථයට නැඟී එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පලා ගියේය.

එම වෙඩි තැබීමේ සිද්ධිය චිත්‍රපටයක ජවනිකාවක් බඳුය. කිසිදු බියක් සැකක් නොමැතිව පැමිණි සාහසිකයන් ටී. 56 ගිනි අවි දෙකකින් වෙඩි උණ්ඩ 40 ක් පමණ භාවිතා කරමින් පස්දෙනකු ඝාතනය කළේ තනිකර යුද පිටයක මෙන් ය. වෙඩි වැදුණු පස් දෙනාගෙන් සිව්දෙනකුම එම ස්ථානයේදී මියගිය අතර අනෙක් පුද්ගලයා රෝහල වෙත රැගෙන යන අතරමඟදී මියගියේය.

බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතන සිද්ධිය ආරංචි වීමත් සමඟ රටේ ජනතාව කලබලයටත් භීතියටත් පත් විය. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදීත් පාතාලය යළි කිසිදු බියක් සැකක් නොමැතිව එළිපිටම තම අපරාධ සිදු කිරීමට පටන් ගෙන තිබේ. බෙලිඅත්තේ සිදුවීමට පෙර සහ පසු ද පාතාලයේ සාමාජිකයන් විසින් තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකරන ලදි. ඒ අතර ඔවුන් හිමිනමක් ද වෙඩි තබා ඝාතනය කළේය.

ඝාතනය වූ පිරිස් අතර සිටි අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු තිදෙනකුම 2022 වසරේ ජුනි 05 වැනිදා තංගල්ල මොරකැටිආරේදී අසේල නමැති පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ වෙති.

ඝාතනයට ලක්වූවන් අතර මොරකැටිආරේ අසේල ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයා පලාගිය මෝටර් රථය ලබාදුන් සුරතලා සහ අපරාධකරුවන් සඟවාගත් දෙමටගොඩ පදිංචිකරුවෙක් ද සිටින බවට අනාවරණ වී තිබේ. සුරතලා අපේ ජනබලවේගය පක්‍ෂයෙන් ගාල්ල දිස්ත්‍රික් අපේක්‍ෂකයකු වශයෙන් මහ මැතිවරණයට තරග කර ඇති අයෙකි.

ඝාතනයට ලක් වූ සමන් පෙරේරාගේ උපන් ගම කොස්ගොඩ වන අතර ඔහු විවාහයෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගියේය. මියයන විට ඔහු 48 වැනි වියේ පසුවිය. සමන් පෙරේරා හැරුණු කොට මියගිය සෙසු අය වන්නේ වරාහේන බෙන්තොට ලිපිනයේ පදිංචි 33 හැවිරිදි ඉලේකුට්ටිගේ සමීර මදුශංක (සුරතලා), ගල්බඩ ඉඳුරුව ලිපිනයේ පදිංචි 40 හැවිරිදි කුමාර හසිත චන්ද්‍රික, ගැට්ටුවාන පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි 36 හැවිරිදි බුද්ධික රාජපක්‍ෂ සහ දෙමටගොඩ පදිංචි 43 හැවිරිදි නලින් චම්පික නමැති අයයි.

හක්මන පොලිසිය මේ පිළිබඳව මූලික පරීක්‍ෂණ පැවැත්වූහ. එහිදී අනාවරණය වූයේ වෙඩික්කරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති ආකාරය අනුව ඔවුන් මනා පුහුණුවක් ලද අය බවයි. බොහෝ විට වෙඩික්කරුවන් යුද හමුදාවේ සිටින හෝ සිටි අය බවට සැක පහළ කරයි. එයට ප්‍රධානතම හේතුව වනුයේ වෙඩික්කරුවන් බාහිර පාර්ශ්වයකට හානි නොකර තම ඉලක්කය සාර්ථකව සපුපරාගෙන තිබීමයි.

එක තැන පහක් මරපු බෙලිඅත්තේ ගේම ගැස්සෙව්වේ කොස්ගොඩ සුජී

තවද අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ද ඉදිරිපත්ව සිටි අයෙකි. මොහු නායකත්වය දරන අපේ ජනබල පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් සෑම දිස්ත්‍රික්කයකටම පාහේ ඉදිරිපත් කර තිබුණේ මොහු ය. අතුරලියේ රථන, ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු ජනප්‍රිය භික්‍ෂුන් වහන්සේ මොහු ළඟින්ම ඇසුරු කර තිබුණි. ඒ සමඟම මොහු පාතාල සාමාජිකයන් සමඟ ද සම්බන්ධතා පැවැත්වූයේ ය.

සමන් පෙරේරාගේ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ සිය වෘත්තිය ජීවිතය සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ආරම්භ කර ඇති බවයි. එම කාලසීමාවේදී ඔහු ජර්මන් ජාතික තරුණියක් සමග ඇති කරගත් සමීප සම්බන්ධකමක ප්‍රතිඵලය ලෙස ඉඳුරුවේ පිහිටි රෝයල් හෝටලයේ හිමිකරු බවට පත් විය. ඉන්පසු රෝයල් බීච් සමන් යන අන්වර්ථ නාමයෙන් ද ඔහු හැඳුන් වුණි.

සමන් පෙරේරා විවාහ වූවේ කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරියක සමගිනි. ඇය උප්පත්තියෙන්ම ප්‍රකෝටිපතිනියකි. ඇය විවාහ කර ගත් පසු සමන් පෙරේරා තිතැතින්ම කෝටිපතියෙක් වූහ. ඉන්පසු සමන් පොලිසියේ උසස් නිලධාරීන්, දේශපාලනඥයන් ආදී ප්‍රභූ පිරිස් ඇසුරු කිරීමට පටන් ගත්තේය. එලෙස ප්‍රභූ පිරිස් ඇසුරු කළත් පාතාල සාමාජිකයන් සමගද සමන්ගේ සම්බන්ධතා තිබිණි.

සමන්ගේ ප්‍රබල ප්‍රතිවාදියා වූයේ කොස්ගොඩ සුජීය. කිහිප වරක්ම කොස්ගොඩ සුජී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. එසේම දකුණ හෙල්වූ ඝාතන කිහිපයක් සමග ද සමන්ගේ නම ගෑවී තිබිණි. එලෙස ඝාතනය වූවන් කොස්ගොඩ සුජීගේ හිතවතුන්ය. එම නිසා කොස්ගොඩ සුජී සිටියේ සමන් සමග බද්ධ වෛරයකිනි.

පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී අනාවරණය වූයේ කොස්ගොඩ සුජීගේ කොන්ත්‍රාතුවකට අනුව ඩුබායිහි සිටින කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් වන බූස්සේ හර්ෂ නමැති අයගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදු කර ඇති බවයි. මෙම ඝාතන සැලසුම හෙළි වූයේ මෙරට සිට එය මෙහෙය වූ සමන් කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. මේ සඳහා ඔහුට රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් ලැබී ඇත. බුස්සේ හර්ෂ ඩුබායි සිට මෙම මෙහෙයුම මෙහෙයවා තිබිණි. පාතාලයේ ඔහු අප්‍රසිද්ධ චරිතයක් බවට හඳුනාගෙන තිබේ. මොහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ 2012 වර්ෂයේදීය. ඒ කොස්ගොඩ තාරකගෙන් ජීවිතය බේරා ගැනීම සඳහාය. ඔහුට ඩුබායි බලා පිටත් වීමට උදව් උපකාර කර ඇත්තේ කොස්ගොඩ සුජීය.

සමන් පෙරේරා සහ බූස්සේ හර්ෂ ගජ මිතුරන්ය. මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සමන් පෙරේරා සිදු කර තිබේ. එම නිසා මොහු කිහිප වතාවක්ම බන්ධනාගාරගතව සිට ඇති බවත් කොස්ගොඩ සුජීගේ ගෝලයන් මෙන්ම බූස්සේ හර්ෂව දැන හඳුනගෙන ඇත්තේ එම අවස්ථාවන්වලදීය.

බෙලිඅත්තේ මෙම ප්‍රහාරයට සිවුදෙනකු සම්බන්ධ වී තිබේ. ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් ගමන් කළ පැජරෝ වර්ගයේ ජීප් රථය පදවා ඇත්තේ බූස්සේ හර්ෂ එවන ලද විශේෂිත රියැදුරකු විසින්ය. ඔහු අළුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. එම ජීප් රථයේ අංක තහඩු ව්‍යාජ ඒවාය.

ඝාතකයන්ගේ ඉලක්කය වී තිබුණේ තංගල්ල උසාවිය අසලදී වෙඩි තැබීමටයි. එහෙත් සමන් පෙරේරා ගමන් කළ ඩිෆෙන්ඩර් රථය අතරමඟ වෙළෙඳසලක් අතර නතර කළ නිසා ඒ සැලසුම වෙනස් කර එම ස්ථානයේදී ඔහුට වෙඩි තැබීමට තීරණය කර තිබිණි.

සමන් පෙරේරා ඇතුළු පිරිස ඝාතනය කළ පසු වෙඩිකරුවන් රැගත් ජීප් රථය බෙලිඅත්ත, හක්මන හරහා කඹුරුපිටිය දක්වා ගමන් කර එක් වෙඩික්කරුවෙකු කඹුරුපිටියේ නගරයෙන් බස්සවා තිබිණි. ඉන්පසු එම වෙඩික්කරු කඹුරුපිටිය සිට මාතර බලා ගමන් ගත් බස් රථයකට නැග තිබිණි. අනතුරුව ජීප් රථය බංගමටත්, යක්කලටත් ගමන් කර ඇත. සමන් කුමාරගේ සහයට සෙසු වෙඩික්කරුවා වූ සිවුවැන්නා බැස ඇත්තේ ඒ අතර මඟදීය. අනතුරුව සමන් ජීප් රථය තම නිවසට ගෙන හොඳින් සෝදා පිරිසිදු කරන්නේ එහි ඇඟිලි සලකුණු මැකී යෑම සඳහාය.

රථය සෝදා පිරිසිදු කළ පසු ඩුබායි සිට හර්ෂ පැවසූ ආකාරයට ගාල්ල හැව්ලොක් පෙදෙසේ පිහිටි විද්‍යාලෝක පිරිවෙන් රථගාලට ගොස් සමන් රථය නතර කළේය. එලෙස ඔහු රථය නතර ඇත්තේ වෙන කෙනෙකුට විත් එය රැගෙන යෑමටයි. එහෙත් එය ව්‍යර්ථ වූයේ පොලිස් නිලධාරීන් එම රථය සොයා ගැනීම නිසාය. අවසානයේ සමන් කුමාර මෙම ඝාතන සිද්ධියේ සියල්ලම හෙළි කළ නිසා පොලිස් නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වූහ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය. එලෙස අත්අඩංගුවට පත්වූයේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 35 ත් අතර පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම ලිපිය ලියන මොහොත වනවිටත් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසුවේ සැකකරුවන් පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගෙන ඇති බවත් හැකි ඉක්මනින් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි.

මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සහන් කුමාර මහතා ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment