ඕපාත චන්ඩියෙකුට හෙල්මට් පහර දුන් තරුණයාගේ අත වෙන් වෙන්නම කපලා

1377

බරපතළ තුවාල ලැබූ තරුණයා ජාතික රෝහලේ සැකකරුවන් ප්‍රදේශය හැර පළා ගොසින්

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකදී හෙල්මට් පහර කෑ තරුණයෙකු ඊට පළිගැනීම සඳහා හෙල්මට් පහරදුන් මිතුරාගේ දකුණු අත තියුණු ආයුධයකින් කපා වෙන්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පෙරේදා (10) පස්වරුවේදී ඕපාත මංසන්ධියේදී සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් තරුණයාට මෙසේ පොලු‍ මුගුරුවලින් පහර දී දකුණු අත තියුණු ආයුධයකින් කපා වෙන්කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය.

මිනුවන්ගොඩ, ඕපාත, අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි 23 හැවිරිදි එච්. හර්ෂ චතුරංග නමැති තුවාලකරු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගමේ චණ්ඩියකු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරු කසිප්පු ජාවාරමේ නිරත වන්නෙකු බවට අනාවරණය වී තිබේ.

ප්‍රධාන සැකකරු සහ තුවාලකරු අසල්වැසියන් බවත් දෙදෙනා අතර මීට පෙර දිනයකදී ඇති වූ ආරවුලකදී ප්‍රධාන සැකකරු වු කසිප්පු ජාවාරම්කරුගේ හිසට තුවාලකරු විසින් හෙල්මට් එකකින් පහරදී ඇති බව පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි. පසුව ඔහු පෙරේදා (10) පස්වරුවේ ඕපාත මංසන්ධියේ පිහිටි රූපවාහිනී යන්ත්‍ර අලු‍ත්වැඩියා කරන ස්ථානයකට පැමිණ සිටියදී ප්‍රධාන සැකකරු වූ කසිප්පු ජාවාරම්කරු තවත් තිදෙනකු සමඟ යතුරුපැදියකින් තුවාලකරු සිටි ස්ථානයට පොලු‍ මුගුරු සහ කඩුවක් වැනි තියුණු ආයුධයක් රැගෙන විත් තියුණු ආයුධයෙන් මෙසේ අත කපා දමා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පොලිසිය කීය. ප්‍රධාන සැකකරු වූ කසිප්පු ජාවාරම්කරු සහ අනෙක් සැකකරුවන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව ද පොලිසිය කීය.

පදිංචි නිවසින් පලාගොස් සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුලසූරිය ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment