ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවරු 3ක් ඉල්ලා අස්වෙති

254

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වී ඇත.

නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඊයේ (13 දා) යොමුකර තිබිණි.

සුපුල් විජේසිංහ සහ ප්‍රියන්ත සේරසිංහ යන මහත්වරුන් ද සිය ඉල්ලා අස්වීම් ලිපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙත ඊමේල් පණිවුඩයක් මගින් ඊයේ (13 දා) දැනුම්දී ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමට අදාළ නඩුවට පෙනී සිටින නිසා නීතිඥ මනෝජ් ගමගේ මහතාට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් දැනුම් දී තිබිණි.

සුපුල් විජේසිංහ සහ ප්‍රියන්ත සේරසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ඊයේ සවස් වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකර නොතිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මොවුන් අදාළ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කර තිබිණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment