කංචනගේ විදුලි බිලේ එල්ලී දෙව්ලොව යාම!

176

අද මෙරටේ බහුතර ජනතාවක් වන්දි ගෙවමින් පමණක් නොව විවිධ සමාජ ආර්ථික පීඩාවලින් හෙම්බත්ව සිටින්නේ ද මේ ආණ්ඩුව ඇතුළු දශක කීපයක් මුළුල්ලේ මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ හා බොහෝ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතා, දූෂණ, වංචා ආදී දුශ් පිළිවෙත් නිසාය. බුදුදහම විසින් තහවුරු කරන ලද පරිදිම ගොන්කුර පසුපස ගැල ඇදෙන්නාක් සේ මේ රටත් ආර්ථිකය ඇතුළු බොහෝ සාධනීය වටිනාකම්, ඇගයීම් සියල්ලක් වැනසූ ඒ දේශපාලනඥයන් පසුපස යමින් තවමත් විඳවීමට ජනතාවට ද සිදු වී තිබේ. ඉකුත් සතියේ රාජ්‍ය සේවයට අයත් විවිධ කොටස් ද උසස් අධ්‍යාපන හා වෛද්‍ය වැනි ක්‍ෂේත්‍රවල විශාල පිරිස් ද විරෝධතා, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්වල නිරතව සිටිද්දී ඒ සියල්ල යම් ප්‍රමාණයකින් පසු බැස්සවීමට හා දුබල කිරීමට එක් යෝජනාවක් හේතු විය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධනය කරන බවට වූ ප්‍රකාශයයි. 2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ජනතාවට සහන ලබා දෙන බව ආණ්ඩුවේම ඇමැතිවරුන් හා අනුගාමික පිරිස් විසින් ද ප්‍රකාශ කරනු ලැබ තිබුණත් ජනාධිපති රනිල්ගේ පොරොන්දුව කැපී පෙනුණි. එහෙත් ලක්ෂ 15 ක් පමණ වූ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමෙන් පමණක් රටේ සමස්ත ආර්ථික අර්බුදවලට විසඳුම් නොලැබෙන බව ඒ ක්‍ෂේත්‍රවල විද්වත්හුද සෘජුවම කීහ.

කෙසේ හෝ ජනාධිපතිවරයා පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගෙමින් තිබියදී එක් සැණකින් එය යටපත් වූයේ ආණ්ඩුව 18% කින් වැට් බද්දක් පැනවීම නිවේදනය කිරීමත් සමගය. ලබන ජනවාරි සිට බලපැවැත්වෙන එම වැට් බද්ද සෘජුවම මෙරටේ සාමාන්‍ය ජනතාවගේ හිස මතට කඩා වැටුණු හෙණයක් නොවේ යැයි ආණ්ඩුවට කිව හැකිද? එසේම විදුලි බිලට අමතරව මේ වනවිට ඉහළ දමා තිබෙන මිල ගණන් සාධාරණ යැයි ආණ්ඩුව කියන්නේද? ඉතා සැකෙවින් කිවහොත් විදුලියට අමතරව ගෑස් මිලත් ඉහළ දමා ඒ ඒ ආයතනවල පාඩුව එහෙම පිටින්ම ජනතාවගේ කර මතට පැටවීම හිත් පිත් ඇති පාලනයකට කළ හැක්කක් නොවේ. සුව පහසු ජීවිත ගෙවන, මහජන මුදලින් සියල්ල සපයා ගන්නා ඇමැතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් ජනතා දුක නොදැනේ. අනේ අපටත් දැන් අමාරුයි. විදුලි බිල ගෙවා ගන්න බෑයි කියන දේශපාලන චරිතවලට හෘදය සාක්ෂියක් තිබේ ද යන්නත් අපට ගැටලුවකි.

වරප්‍රසාද සහිත පන්තියට පොදු ජනතාවට මෙන් ආහාර අහේනියක් තිබිය නොහැක. ඔවුන් බොහෝ දෙනෙකුගේ දහවල් ආහාරය බාස්මතී හෝ සුපිරි සහල්වලින් පිසූ බතක් විය හැකිය. එය හොඳ ප්‍රමාණයේ ඉස්සන් බැදපු තෝර මාළු පෙත්තක් හැම් බේකන් හෝ විවිධ අයුරින් සැකසූ බිත්තර, ලීස්, කැරට්, ගෝවා මුසු පෝෂ්‍ය ගුණ පිරි එළවළුවලින් ද සමන්විත වනු ඇත. ෆෘට් සැලඩ්, අයිස්ක්‍රීම්, පුඩිං මෙන්ම අන්නාසි, ගස්ලබු වැනි මෙරටේ පලතුරු හෝ විදේශයකින් ආනයනය කරනු ලබන පලතුරක් ඔවුන්ගේ අතුරුපස නැතහොත් ඩෙසර්ට් එක විය හැකිය. මේ සුපිරි ආහාර වේලට සමානව සවස තේ මෙන්ම රාත්‍රී ආහාරය ද සපයා ගැනීමට ඔවුන්ට බාධාවක් නැත. ඇතැම් විටෙක දුලබ සුරාවක් ද තොල ගෑමට හැකිය. එහෙත් මෙරටේ මධ්‍යම පන්තියටවත් මේ ආහාර වේලකට සමාන වේලක් තබා බතක් මාළු හෝ බිත්තරයක් සමග එළවළු දෙකකින් යුත් ආහාරයක් සකසා ගත හැකිද? ගම්වල කන බොන හැටි කතා කළ යුතු නැත. ඉඳහිට රූපවාහිනී කැමරාවකට හසුවන ගම්දොර නිවසකට මුළුතැන්ගෙයක දසුන කෙබඳු දැයි විස්තර කළ යුතු ද නැත.

අප මේ ආහාර වට්ටෝරු ඉදිරිපත් කළේ ඒ සුපිරි පන්තිය විසින් බුදිනු ලබන සුවඳ බොජුන් කෙරෙහි ඉරිසියාවකින් නොවේ. ඒ සුපිරි බොජුන් බත් දංකුඩ භුක්ති විඳින සමාජයක යථාර්ථයත් ඒ වෙනසට තුඩු දුන් හේතු සාධකත් විමසා බැලීමටය. මේ සමාජ වෙනස, දේශපාලනිකව හඳුන්වන පන්ති වෙනස ඇතැම් විට ආගමිකව කර්මානුරූප යැයි සිතන අය ද සිටිති. එහෙත් එබඳු පසුගාමි චින්තන අඳුර අද සමාජය තුළ වේ නම් ඒ ඉතා මඳ වශයෙනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වුව ද අද බොහෝ ප්‍රබුද්ධ පුරවැසියන්ට මේ තක්කඩි දේශපාලන ක්‍රමය පිළිබඳ මනා අවබෝධයක් ඇත. රැවටීම්, නොමග යැවීම් පමණක් නොව ජාතිය හා ආගම ද දේශපාලන වශයෙන් වෙන්දේසි වූ යුගයක අවසානය අබිමුවට අද අපි පැමිණ සිටිමු. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේ “එකම පිඟන්වල දෙවිධියක කෑමය” යනුවෙනි. මෙරටේ ප්‍රබුද්ධ ජනතාව ද සිය අන්තර්ඥානයෙන් ඒ වෙනස හඳුනා ගෙන සිටිති.

පවතින සමාජ – ආර්ථික විෂමතාව මුග්ධ දේශපාලනයේත් එයට වගකිව යුතු ප්‍රභූ පැළැන්තියේත් දුෂ්ට හා සාපරාධී ක්‍රියාකාරකම් නිසා බව ද ජනතාව දනිති. එසේම සිය ගතානුගතික වැඩවසම් දේශපාලන ආධිපත්‍යයට අද සිව් දෙසින්ම අභියෝග එල්ල වන බව පාලකයෝ ද දනිති. තවදුරටත් මේ ගර්හිත ක්‍රමය නඩත්තු කළ නොහැකි බව ද ඔවුහු දනිති. එසේ වුව ද ඒ වැඩවසම් කඳවුර යළිත් සිය බලය තහවුරු කර ගැනීමේ අදහස අත්හැර නොමැත. පසුගිය වසරේ (2022) සිදු වූ ඓතිහාසික ජනතා නැගිටීම ඔවුන් දකින්නේ කෙතරම් සරල හා සිල්ලර අයුරින්ද? ගෝඨාභය එදා දෙකේ දෙකේ පොල්ල භාවිත කළේ නම් ඒ විරෝධතාව අවසන් වන බව අද සමහරු පවසති. එසේම රනිල් ජනාධිපති ධුරයට පත්ව ඒ පොල්ලෙන් සියල්ල මර්දනය කළ බව ද ඔවුහු උද්දාමයෙන් පවසති. එහෙත් සත්‍යය කුමක්ද? අද තිබෙන්නේ හුදු ආර්ථික අර්බුදයක් නොව සමාජ දේශපාලන අවුලක් බව ඔවුහු තවමත් වටහා නොගනිති. නැතහොත් එය අමතක කර යළිත් බලය ඩැහැගැනීම සඳහා උප්පරවැට්ටි යොදමින් සිටිති.

වර්තමාන ආර්ථික අර්බුදය දවසින් දවස උග්‍ර වන්නේ එය හා බැඳුනු දේශපාලන අර්බුදයක් ද වැඩෙන හෙයිනි. බදු ආදායම අහිමිවීම, රාජ්‍ය වියදම් පාලනය කර ගත නොහැකි වීම සම්බන්ධයෙන් පවතින සංකීර්ණ ගැටුමට සැබෑ හේතුව ද දේශපාලන අවුලකි. එදා පොහොට්ටුවේ බොහෝ නායකයන්ගේ අදහස වූයේ රනිල් ජනාධිපති ධුරය භාර ගැනීමෙන් රට තුළ විප්ලවීය පරිවර්තනයක් ඇති වන බවය. එහෙත් අද ඔවුහු ජනාධිපතිගේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් ප්‍රශ්න කරති. පොදුජන පෙරමුණේ ලේකම්ගේ ප්‍රකාශ, ප්‍රතිචාර මතුපිටින් නිසලව පෙනෙන ඇතුළත ගිනියම් වූවක් බව අපට දැනෙයි. පසුගිය දිනක ඔහු පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ද ආණ්ඩුව සියයට සියයක් පොදුජන පෙරමුණ නොවන බවය. එජාපයේ සිටි එකම මන්ත්‍රීවරයා රටේ ජනාධිපති බවත් මහජන එක්සත් පෙරමුණේ නායකයා අගමැති බවත් ස.ජ.බ. මන්ත්‍රීවරුන් දෙදෙනකු ප්‍රබල ඇමැති ධුර හොබවන බවත්ය. එසේම ටිරාන් අලස්, නිමල් සිරිපාල හා මහින්ද අමරවීර ද තම පක්ෂයේ අය නොවෙතියිද ඔහු දක්වා තිබිණි. පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කීපදෙනෙක් සිටියත් එය පොදුජන පෙරමුණු ආණ්ඩුවක් නොවන බව ඔහු තහවුරු කර තිබිණි. එය තර්කයක් ලෙස බැහැර කළ නොහැකි වුව ද මේ ආණ්ඩුව පිහිටුවා තිබෙන්නේ පොදුජන පෙරමුණ නමැති ශක්තිය මතය. එය මේ වනවිට සීසීකඩ විසිර තිබෙන අතරම ඒ තුළ ජනාධිපති රනිල්ට සහාය පළ කරන පිරිසක් ද සිටිති. පොදුජන පෙරමුණට දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව ද ඔහුගෙන් ප්‍රකාශ වී තිබිණි.

පසුගියදා පොදුජන පෙරමුණේ සංවත්සරයට එක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද, ගෝඨාභය මෙන්ම පක්ෂයේ ප්‍රබලයා වන බැසිල් හා අගමැති දිනේෂ් ගුණවර්ධන ද ඉදිරියේ කරන ලද දැඩි අනුශාසනාව තුළ කිසියම් චෝදනා පත්‍රයක් ද විය. එක්ව තීරණ නොගැනීම, උද්ධච්චකම වැනි දුබලතා නිසා ජනතාව සද්භාවයෙන් දුන් බලය ද අතහැර යෑමට සිදු වූ බව උන්වහන්සේ කීහ. ආර්ථිකය බිඳ වැටී, ජන පීඩනය ඉහළ යෑම පමණක් නොව හැට නවලක්ෂයක ජනවරමට පිටුපාමින් ගෙන ගිය උද්ධච්ච පාලනය ගැන ද උන්වහන්ස්ගේ අප්‍රසාදය පළ විය. රාජපක්ෂ නිකායේ ස්වාමීන් වහන්සේලා ලෙස තමන්ට ද විවේචන එල්ල වූයේ සත්‍යය හා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා බව ද උන්වහන්සේ අවධාරණය කළහ. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ද උන්වහන්සේගේ විවේචනය දැඩි විය. කංචනගේ විදුලි බිලේ එල්ලී දෙව්ලොව යා හැකි බව උත්ප්‍රාසයෙන් දැක්වූ උන්වහන්සේ අනතුරු ඇඟවූයේ මෙහෙම ගියොත් යළි ගම්වලට යා නොහැකි බව පවසමින්ය. ඇත්තටම මේ වනවිට විදුලි බිල වැඩිවීම මුළු රටේම විරෝධයට ලක් වූවකි. පන්දම් විරෝධතා හැම තැනම දැකගත හැකිය.

මේ කිසිවකට අසංවේදී වන රනිල්ගේ පාලනය තුළ අද ගිනි පුපුරු නැගෙන බව ද උන්වහන්සේ දැන සිටි කරුණකි. මේ දේශපාලන අවුල විසඳා ගන්නා ලෙස අයි. එම්. එෆ්. ආයතනය ද ආණ්ඩුවට උපදෙස් දී තිබිණි. එහෙත් ආණ්ඩුව සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත. ආණ්ඩුව ජනතාවට පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආර්ථික සැලසුම් හා ඒවාට වුවමනා ප්‍රතිසංස්කරණ ගැන පමණි. එසේම ජනාධිපති රනිල්ට භාර වූ ආණ්ඩුව ද හැම අතින්ම දූෂිත වූ එකකි. ශ්‍රී ලංකාව දූෂිත හා චෞර දේශපාලනයක හිරවීම දශක කීපයක් අතීතයට ඇදී යන කතාවකි. මේ දූෂණ, වංචා නවත්වන ලෙසට ජාත්‍යන්තර වශයෙන් ද දැනුවත් කිරීම් සිදු විය.

කංචනගේ විදුලි බිලේ එල්ලී දෙව්ලොව යාම!

මේ වනවිටත් කෝප් කමිටුව අබියස අනාවරණය වී ඇති දූෂණ වංචා නිසා බිලියන ගණනක මුදල් අහිමි වීමක් වූ බව ද හෙළි වී තිබේ. ආණ්ඩුව පවසන දූෂණ විරෝධී පනත කෙතරම් ප්‍රබල වුවත් එයින් අල්ලා ගත් එක හොරෙක්, දූෂිතයෙක් වෙත්ද? මේ වනවිට සංවාදයට ලක්ව තිබෙන සෞඛ්‍ය හා වෙළඳ බලශක්ති ආදී ක්‍ෂේත්‍රවල වුව ද දූෂණ, වංචා කෙතරම්ද? සෞඛ්‍ය සේවය එකම අපායකි. නාස් පුඬු හකුලවන දුර්ගන්ධයක් හමද්දීත් ආණ්ඩුව ඒ දූෂණය ඉවසූ ඇමැතිවරයා මෙන්ම නිලධාරීන් ද රැක ගත්තේය. එය දේශපාලන සෙවණ යටතේ සිදු වූ ඖෂධ ජාවාරමක් බවට චෝදනා තිබිණි. අදත් ඒ චෝදනා විවෘතව නගනු ඇසෙයි. මෙබඳු සොරුන් නීතියට හසු කර ගැනීම අලුතින් පත්වූ රමේෂ් පතිරණ ඇමැතිවරයාට ද අභියෝගයකි. මේ සිදුවීමට අදාළ බව සඳහන් ලිපිගොනු රාශියක් විනාශ කර දැමීමේ පුවතක් ද මාධ්‍යවල පළ විය. එය කාගේ ක්‍රියාවක්ද? එබඳු ක්‍රියාවක අරමුණ දූෂණය සම්බන්ධ සාක්ෂි අතුරුදන් කිරීමය. එහෙත් එයට එරෙහිව මෙතෙක් ගත් ක්‍රියාමාර්ගයක් ද නැත.

මෙයට නොදෙවැනි තවත් හොර මගඩියක් ගැන වාර්තා විය. ඒ සීනි වංචාවකි. විපක්ෂනායක සජිත් සෘජුවම චෝදනා කරන්නේ එය මහා වංචාවක් බව පවසමින්ය. මේ සීනි වංචාවේ මුල ගෝඨාභය පාලන සමය තෙක් දිව යයි. සිය ගජමිතුරන්ට ප්‍රතිලාභයක් ලබා දීමේ චේතනාවෙන් එදා සීනි බද්ද සත 25 කට අඩු කළ බව කියැවිණි. එයින් එදා රු. මිලියන 16,000 ක් උපයා ගැනීමට අදාළ සමාගමට හැකි විය. මෙවර සිදු වී ඇත්තේ අදාළ සමාගමට සීනි ආනයනයට ඉඩදී සත 25 බැගින් බදු ගෙවීමෙන් පසු ඒ බද්ද රු. 50 ක් දක්වා ඉහළ දැමීමකි. නීතිය ගජමිතුරන්ට වාසි වන ආකාරයට නවා දීම මොන තරම් තුච්ඡ ක්‍රියාවක්ද? ඒ සීනි හොරාට යළිත් සීනි මගඩියට ඉඩ දීම අතිශය සැක කටයුතු ගනුදෙනුවකි. සීනි තොාගය ගෙන්වා රේගුවෙන් නිදහස් කර ගැනීමෙන් පසු එහි බදු මුදල ඉහළ දැමූ කවුරුන් හෝ මේ අපරාධයට දඬුවම් ලැබිය යුතුය.

ගෝඨාභය එළවා දැමුවත් අදත් ඔහුගේ ගජමිතුරු කසළ වෙළඳ නඩය ජනාධිපති රනිල්ටත් එක්ව සිටිත්ද? මේ සම්බන්ධයෙන් විපක්ෂවලින් කරන ලද එක් අවධාරණයක් වූයේ මේ මුදල් දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට ලබාදෙන බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් මේවා දූෂිත දේශපාලනය සමග බැඳී ඇති බව අනුමාන කළ හැකිය. ගාලු මුවදොර අරගලකරුවන් ඉල්ලා සිටි ප්‍රතිපත්තිගරුක, අව්‍යාජ හා අදූෂිත දේශපාලනයට මේ ආණ්ඩුව අවමන් කරන බව මෙන්ම නීතිය අවභාවිත කිරීමට ඔවුන් දක්වන ලැජ්ජා විරහිත ප්‍රතිචාරද මේවායින් පැහැදිලි වේ.

මේ සියලු දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ චෝදනා පාවෙමින් තිබියදී ජනාධිපති රනිල් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා දක්වන අවධානය අප තේරුම් ගන්නේ කෙසේද? ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නේ නම් 2024 ජනාධිපතිවරණයත් 2025 දී මහා මැතිවරණයත් පැවැත්විය යුතුය. එහෙත් මේ ආණ්ඩුව අලජ්ජී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැමූ අයුරු රටම දනී. එයට හේතු සාධක ලෙස දැක්වූයේ ආර්ථික දුෂ්කරතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමට මේ ආණ්ඩුව කරන කූට ප්‍රයෝග බොහෝය. ඒවා වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය. එහෙත් ජනාධිපතිවරණය පෙනි පෙනී රටේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ හදිසිය කුමක්ද? යන සැකය මේ වනවිටත් මතු කර ඇත. එහෙත් ජනාධිපති රනිල් මේවා කරන්නේ හරිම ස්මාර්ට් (සුහුරු) ආකාරයකටය. ඒ ඔහුගේ ශූර දේශපාලන භාවිතය තුළින් ලද්දක් විය හැකිය.

මෙරටේ පවතින මනාප ඡන්ද ක්‍රමය අතිශය දූෂිත එකක් බව දැන් කලක සිටම කියන කතාවකි. මෑතකදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ද මේ ක්‍රමය වෙනස් විය යුතු බව කීවේය. ඔහු ඒ පිළිබඳ නිර්දේශ සහිත කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළ බව වාර්තා විය. අගමැති දිනේෂ් ද ඒ වෙනුවෙන් පක්ෂ නායක හමුවක් ද කැඳවා තිබිණි. හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති පියවර ගත්තේ ද මේ පසුබිම තුළය. එයට මාස හයක (06) කාලයක් ද ලබාදී ඇත. ඇතැම් නිර්දේශ ද දක්වා තිබේ. 2023.10.16 ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම සියලු තත්ත්වයන් විමසා බලා ඔවුන්ගේ නිර්දේශ සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි හඟිමු. එහෙත් මේ ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරන කුමක් හෝ නීති ප්‍රශ්නයක් දමා ඡන්ද කල් දැමීම සම්බන්ධ කුප්‍රකට වාර්තාවකට ද හිමිකම් කියන බව පමණක් සිහිපත් කරමින් අපි එදෙස බලා සිටිමු. එසේම දවසින් දවස උත්සන්න වන මහජන විරෝධතා ජනතා උද්ඝෝෂණ හමුවේ ආණ්ඩුවට තිබෙන විකල්පය ද අලුත් ජනවරමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පමණි. විදුලි බිල, ගෑස් හා ඉන්ධන මිල වැඩි වී ජනතාවගේ තේ කෝප්පයේ සිට බොහෝ දේවල්වල මිල ඉහළ යන දේශපාලන වාතාවරණයක දේශපාලන උප්පරවැට්ටිවලින් ජනතාව නිහඬ කළ නොහැක. ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ද සියයට නවයක් (09%) දක්වා පහළ බැස තිබෙන බව ද මෙරටේ රිසර්ට් පෙන්වා දී ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment