කළුතර හිරගෙදර රැඳවියෙක් පහරදීමක් නිසා රෝහලේදී මියයයි

120

කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියකු පහරදීමක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26දා) අලුයම මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි. මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගිය 24දා රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වාට්ටු අංක 5 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති බවත්, මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලිසිය කීය. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment