ක්‍රිකට් පෙත්සමෙන් තවත් නඩුකාරයෙක් ඉවත් වෙයි

271

වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීම 20 වැනිදා

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයකු ඊයේ (16 දා) ඉවත්වීම නිසා එම පෙත්සම ලබන 20 වැනිදා සඳුදා වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ දින නියම කළේය.

මෙම පෙත්සම ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඬුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යළි යොමු කෙරිණි.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරුන් තුන්දෙනකු ඉවත් වී තිබේ.

අනතුරුව මෙම පෙත්සම නව විනිසුරු මඬුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සඳුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා ඇමැතිවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් ඉකුත්දා පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය ඊයේ අවසන් වන බවය.

එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටි ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කෙසේ වෙතත් මෙම පෙත්සම ලබන සඳුදා සලකා බලන තෙක් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20) තෙක් කල් තැබිණි.

ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment