කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික හය දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

92

ඉකුත් මාර්තු 06 වැනිදා මුළුමහත් කැනඩාවම කම්පාවට පත් කරවමින් ඔටාවා අගනුවර ‘බාර්හේවන්’ ප්‍රදේශයේ නිවෙසකදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකීය පවුල් දෙකක සාමාජිකයන් හයදෙනාගේ අවසන් කටයුතු පෙරේදා (17 දා) සවස ශ්‍රී ලාංකිකයන් හා කැනේඩියානු ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කැනඩාවේදී සිදු කෙරිණි.

ඝාතනයට ලක් වූ එකම පවුලේ මව හා කුඩා දරුවන් සිවුදෙනාගේ මෙන්ම එම පවුල හා රැඳී සිටි පවුලේ හිතවතකුගේ අවසන් කටයුතු මෙසේ සිදු වී ඇති අතර අවසන් කටයුතු සිදු කිරීමට පෙර 200 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් සිදුකෙරුණු බෞද්ධාගමික වතාවත් ඉන්ෆිනිටි ප්‍රදර්ශන ශාලවේදී සිදු කර ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අවමංගල්‍ය කටයුතු සඳහා ඝාතනයට ලක් වූ දරුවන්ගේ පියා වන පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබ රෝහල් ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලැබූ ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගි වී ඇති අතර මෙම අවමඟුල සඳහා කැනඩාවේ ටොරොන්ටෝ ඇතුළු දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ද සහභාගි වීම විශේෂත්වයකි. මියගිය අයගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර පැවැත්වූ ආගමික වතාවත් ඔටාවා හා ටොරොන්ටෝ නගරවල සිට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් සිදු කර ඇති අතර කැනඩා බෞද්ධ කොංග්‍රසය විසින් මෙම අවමඟුල් උත්සවය සංවිධානය කර තිබේ. පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබ සුවය ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ මියගිය සිය බිරිය, දරුවන් සිව් දෙනා සහ පවුලේ හිතවතාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූවද එහිදී කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර අවසන් කටයුතුවලින් පසු නිවේදනයක් නිකුත් කරමින් ඝාතනය සිදු වූ පසු පළමුව ප්‍රතිචාර දැක්වූ අසල්වැසියන්ට හා විපතේදී ඇති වූ කම්පනයෙන් මිදීම සඳහා තමාට නන් අයුරින් උපකාර කරමින් දිරිගැන්වූ රෝහලට, කැනඩා බෞද්ධ කොංග්‍රසයට, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාව ඇතුළු සියලු දෙනාට ස්තුතිය පළ කර ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ. මෙම අවස්ථාවේ තමා විනාශ වී ගොස් හා ඉරා දැමූ තත්ත්වයක පසුවන බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඝාතනයට ලක් වූ 35 හැවිරිදි දර්ශනී ඩිලන්තිකා ඒකනායක, ඇයගේ දරුවන් වන හත් හැවිරිදි පුත් ඉනුක, තුන් හැවිරිදි දියණිය රම්‍යා, සිව් හැවිරිදි අශ්විනි හා දෙමස් වියැති කෙලිගේ හා පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ කැනඩාවේ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්ද සංගරී හා චන්ද්‍රා ආර්යා, ප්‍රෝග්‍රේසිව් කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රී ලීසා මැක්ලියොඩ් හා ඔටාවා නගරයේ නගරාධිපති මාක් සුට්ක්ලිෆ් ඇතුළු බොහෝ දෙනකු කථා පවත්වා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඔටාවා නගරයේ නගරාධිපති මාක් සුට්ක්ලිෆ් ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජිකයන් අමතා පවසා ඇත්තේ ඔබලාගේ ප්‍රජාව ඔබලා සමග මේ අවස්ථාවේ සිටින බවයි.

ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ශ්‍රී ලාංකීය සිසුවකු වන ෆෙබි්‍රයෝ ඩි සොයිසා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ලබන 28 වැනිදා ඔහු නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment