කොමිසමේ ලිඛිත අවසරය නැතත් අල්ලස් නඩු දාන්න පුළුවන් – අභියාචනාධිකරණය තීන්දු කරයි

225

අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව ඊට අදාළ අභියාචනයක් සලකා බලමින් අභියාචනාධිකරණය තීන්දු කළේය.

බාල ඉන්ධන මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2013 ජනවාරි මස 22දා එවකට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ටයිටස් මෙන්ඩිස් ජයවර්ධනට එරෙහිව නඩු පැවරීය. එසේ නඩු පැවරීමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ගියේය. එසේ ගොනු කළ අභියාචනයේ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළේය.

තමන්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිෂන් සභාව ලිඛිත අනුමැතිය ලබා දී නොමැති හෙයින් නඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි බව කියමින් ටයිටස් මෙන්ඩිස් ජයවර්ධන ගොනු කළ අභියාචනයේ විභාගය අවසන් කරමින් විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතාගේ එකඟත්වයෙන් විනිසුරු පී කුමාරරත්නම් මහතා අභියාචනය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව මෙම නඩුවේ තීන්දුව අදාළ නඩු ගොනුව ද සමග අවශ්‍ය කටයුතු සඳහා මහාධිකරණයට සහ මහෙස්ත්‍රාත් අධිකරණයට යැවීමට ද නියෝග කෙරිණි.

ඔක්ටේන් 92 වර්ගයේ ඛනිජ තෙල් තොගයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2012 වසරේ හෝ ඊට ආසන්න කාලයකදී මිලදී ගනු ලැබ තිබෙන අතර, එම මිලදී ගැනීමෙන් පසු වාහනවල එන්ජින් නතර වී ගැටලු මතුවූ බවට පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණය නම් චෝදනාව යටතේ ඒ පිළිබඳ විමර්ශනය කර නඩු පවරා තිබිණි.

2013 ජනවාරි මස 22දා මෙම නඩුවේ අභියාචක ටයිටස් ජයවර්ධන මහතා විත්තිකරුවකු ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා ගොනු කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment