පාන් පිටි කිලෝවක් රු. 198යි

125

මිල ප්‍රසිද්ධ කරන්නැයි මුදල් කමිටුව අමාත්‍යාංශ නිලධාරීන්ට කියයි

සිමෙන්තිවලින් රු. 700ක ලාභයක්

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු. 198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට එම මිල ගණන් නිවේදනයක් මගින් දැනුම් දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කෙරිණි.

2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රඳවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කර ගනිමින් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසූ බව කමිටු වැඩ බලන සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළෙඳපොළ අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිඟු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

මේ අනුව 2023.06.14 දින ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙතරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සඳහා පැවැති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබඳ නිවැරදි දත්ත ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දෙන ලදී.

තව ද සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බව ද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩු කළ විට රු. 700කට ආසන්න ලාභයක් ඇති බව ද කමිටුව පෙන්වා දුන්නේය.

සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනී යන බැවින් ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් 15 වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment