කුරුන්දි නඩුව විභාග කළ මහේස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාමද -ජනපති නියමයෙන් පරීක්ෂණයක්

142

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහෙස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් නොදී ඉල්ලා අස්වී තිබීම නිසාවෙනි.

එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් යන මහත්වරුන් සමග සාකච්ඡා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මහෙස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නැති බවය.

මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.

මහෙස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහෙස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමකට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනකු ඉදිරියේ මුලතිව් මහෙස්ත්‍රාත් සමග නීතිමය කටයුතු සාකච්ඡා කළ බවත් එහිදී මහෙස්ත්‍රාත් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම වැරදි බවට දැනුම්දීමට කතාකර ගත් බව නීතිපතිවරයා ජනාධිපති කාර්යාලය කළ විමසීමේ දී සඳහන් කර තිබේ.

ඊට අමතරව බුද්ධි අංශ ජනාධිපති කාර්යාලය වෙත වාර්තා කර ඇත්තේ මහෙස්ත්‍රාත්වරයා තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් සමග සමීපව ගනුදෙනු කර ඇති බවකි. මේ සියලු කාරණා අනුව මෙය තවත් චැනල් 4 නාට්‍යයක් ද නැතිනම් සත්‍ය වශයෙන්ම ඔහුට මරණ තර්ජන තිබුණේ ද යන්න ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment