කෝවිලේ පූජාවට හදමින් සිටි කැඳ මුට්ටියට වැටී පිළිස්සී තුන් හැවිරිදි දරුවා රෝහලේ

211

යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේ හින්දු කෝවිලක බැතිමතුන්ට බෙදාදීම පිණිස පිළියෙල කරමින් තිබූ විශාල කැඳ මුට්ටියකට වයස අවුරුදු තුනක කුඩා දරුවකු ඇදවැටීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඉකුත් 05 වැනිදා මෙම අනතුර සිදුව ඇති අතර දරුවා තවත් දරුවන් දෙදෙනකු සමග සෙල්ලම් කරමින් සිට කැඳ පිළියෙල කරමින් තිබූ ස්ථානයට ගොස් සිටියදී එක්වරම ඔහු කැඳ මුට්ටිය තුළට ඇද වැටී තිබේ. කැඳ හදමින් සිටි පිරිස වහාම එම දරුවා මුට්ටියෙන් ඉවතට ගෙන චාවකච්චේරි රෝහලට රැගෙන ගොස් ඇති අතර දරුවා අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි බැවින් ඔහු යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

දරුවා කැඳ මුට්ටියට වැටෙන අවස්ථාවේ දරුවාගේ මව හා ඥාතීන් කීප දෙනකුද දරුවා අසල සිට ඇත. කෝවිලේ පැවති විශේෂ පූජාවකට සහභාගි වූ බැතිමතුන්ට බෙදා දීම පිණිස මෙම කැඳ පිළියෙල කරමින් තිබී ඇති අතර දරුවා වැටීමෙන් පසු කැඳ මුට්ටියම බිමට හලා විශේෂ පූජාව ද කල් දමා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment