ගුවන් හමුදාපතිවරයෙක් ගෙදර යැවූ ට්‍රැෆික් OIC – ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර

2151

● මහ බැංකු බෝම්බයෙන් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්…..
● පිටකොටුවෙ බෝම්බය පුපුරද්දී මම පොලිස් කොස්තාපල්…..
● ජනාධිපති ප්‍රේමදාස මහත්තයා බෝම්බයට හසුවෙද්දී මම එතැන රාජකාරියේ…..
● නිදහස් උත්සව 34 ක ගංගාරාම පෙරහැර 34 ක රථවාහන රාජකාරියේ නිරත වෙයි…..
● අඛණ්ඩව වසර 35 ක් රථවාහන රාජකාරියේ…..
● 2014 වර්ෂයේ සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ධුරය හොබවයි…..

පොලිස් දෙපාර්තමේන්තුව “පොලිෂ්” කළ නිලධාරීන් පිළිබඳව වරින්වර මාධ්‍ය මගින් කරන ලද හෙළිදරව් කොතෙකුත් ඔබ අප අසා දැක ඇත. එමගින් දෙපාර්තමේන්තු කීර්ති නාමය ඉහළ නංවන්නට එවැනි නිලධාරීන්ට හැකිවූ අතර වත්මන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිළිබඳව ද එවැනි පුවත් වාර්තා වෙමින් ඇත. ඉකුත්දා තඹුත්තේගම නගරයේදී කොල්ලකරුවන් දෙදෙනෙක් මෙල්ල කළ පොලිස් සැරයන්වරයා ඊට ආසන්නම උදාහරණය ලෙස පෙන්වාදිය හැක. මෙම සටහන තබනු ලබන්නේ පොලිස් සේවය තුළ මෙතෙක් කිසිවෙක් විසින් නොබිඳි වාර්තා රැසකට හිමිකම් කියන තවත් පොලිස් නිලධාරියකු පිළිබඳ ලියා තැබීම පිණිසය. අපගේ කථානායකයා වන්නේ මේ වනවිට කොළඹ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර මහතාය. කොළඹ නගරය තුළ දිනපතා ධාවනය වන ලක්‍ෂ ගණනින් යුත් රථවාහන නිසි ලෙස මෙහෙයවීමේ වගකීම් සහගත රාජකාරියේ නිරත ඒ මහතා මේ වනවිට වසර 35 ක් අඛණ්ඩව රථවාහන රාජකාරියේ නිරත එකම පොලිස් නිලධාරියා ලෙස මෙරට පොලිස් ඉතිහාසයට එක්වී තිබෙන අතර වරක් මෙරට හමුදාපතිවරයකුට තම නතතුර අතහැර ගෙදර යන්නට සිදුවන්නේ ද අප කථානායකයා පැත්තක් නොගත් යුක්තිගරුක පොලිස් නිලධාරියෙක් වීම හේතුවෙන්ය. එම සිදුවීම ඇතුළු තවත් බොහෝ දේ ඔහුගේ රාජකාරි ජීවිතයට ඇතුළත්ය. ඔහුගේ රාජකාරි ජීවිතයට එබී බැලීමේදී යුක්තිගරුක පොලිස් නිලධාරියකු යනු කවුරුන් ද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගත හැක. අපගේ ඉල්ලීම මත රථ වාහන රාජකාරිය සහ ඔහුගේ වාත්තීය ජීවිතය අතර පවතින සමීප සබඳතාවය මෙනෙහි කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර මහතා අපත් සමඟ කතාබහට එක්වූවේ මේ අයුරින්ය.

“මගේ ගම මාතලේ, ගලේවෙල. තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක් සහෝදර සහෝදරියන් නවදෙනකුගෙන් යුත් පවුලක මම උපදින්නේ අට වැනියා විදිහට මම උසස් පෙළ විභාගයට සූදානම් වන අවදියේ මගේ අම්මා මියපරලොව යනවා. ඒ වේදනාවත් එකක් තමයි මම උසස් පෙළ ලියන්නේ. මාස කීපයකින් ප්‍රතිඵල එනවා. මම උසස් පෙළ සමත්, නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න ඒ ප්‍රතිඵලය ප්‍රමාණවත් නැහැ. එතැනදී මම තීරණය කරනවා පොලිස් නිලධාරියෙක් ලෙස පොලිස් සේවයට එක්වන්න. අද වගේ නොවෙයි. ඒ කාලෙ රාළහාමි කෙනෙක් ලෙස පොලිසියට බැඳෙන්නත් ලොකු තරගයක් තිබුණා. ඒ වගේම පොලිස් රාජකාරිය තුළ ලොකු අවදානමකුත් පැවතුණා. මොකද ඒ වනවිටත් රට ඇතුළෙ කොටි ත්‍රස්තවාදය වේගයෙන් හිසඔසවමින් තිබුණා. ඒ කොහොම වෙතත් 1985 වසරේදී පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස මම පොලිස් දෙපාර්තමේන්තුවට එක් වෙනවා.”

1985 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව සාර්ථකව නිමා කරන බණ්ඩාර මහතා පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස රාජකාරි ආරම්භ කරන්නේ බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත වෙමින්ය. එතැන් සිට මේ දක්වා ජාතික නිදහස් උළෙල 34 ක් සහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන පෙරහැර 34 ක රාජකාරි කටයුතු අවාරණය කිරීමේ දුර්ලභ අවස්ථාව ඔහුට හිමි වී ඇත. 2002 වර්ෂයේදී ඔහු රාජකාරි ආරම්භ කළ බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේ එක්තරා ආන්දොලනාත්මක රිය අනතුරක් පිළිබඳ අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ඔහු එම රාජකාරි කටයුත්ත කොතරම් නිවැරදිව කළා ද යත් එවකට මෙරට ගුවන් හමුදාවේ හමුදාපතිවරයාට එම සිදුවීම හේතුකොට සිය තනතුරින් ඉවත්වීමට පවා සිදුවී ඇත. සමස්ත පෙලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශවත් එම සිදුවීම් මාලාව සැකවින් හෝ විස්තර කරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට කන්දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම ආන්දෝලනාත්මක සිදුවීම යළි මෙනෙහි කරන්නට විය.

ගුවන් හමුදාපතිවරයෙක් ගෙදර යැවූ ට්‍රැෆික් OIC - ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර

ඒ සිදුවීමට දැන් වසර 20 ක් සම්පූර්ණ වෙලා අවසන්. ඒ වකවානුව වනවිට මෙරට ගුවන් හමුදාපතිතුමා වශයෙන් කටයුතු කළ ගුවන් හමුදාවේ උසස්ම නිලධාරියා විසින් ධාවනය කළ ගුවන් හමුදාවේ මෝටර් රථයක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාරාන්තික රිය අනතුරක් සිද්ධ වෙනවා. මේ අනතුර සිද්ධ වෙලා තිබුණෙ බොරැල්ල ඩී. එස්. සේනානායක හන්දියේ. අනතුරින් ලොරි රථයේ සහායකයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා බරපතළ අනතුරට ලක් වෙනවා. ඊට දින කීපයකට පසු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටිය ඔහු මිය යනවා. ඔය වෙද්දී මම බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා වශයෙන් රාජකාරි කරනවා. නමුත් ඒ සිද්ධිය වෙන දවසෙ මම රාජකාරි නිවාඩු ගිහින් හිටියේ. දවස් දෙකකට පස්සෙ මම නැවත රාජකාරියට වාර්තා කරල මගේ නිලධාරීන්ගෙන් ඇහුව මොනවද පහුගිය දවස් දෙකේ විශේෂ සිදුවීම් කියලා. නමුත් ඒ කිසිම පොලිස් නිලධාරියෙක් මේ රිය අනතුර සම්බන්ධව මාව දැනුවත් කළේ නැහැ. හැබැයි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් මගෙ පුරුද්දක් තමයි යම්කිසි පැමිණිල්ලක් තිබුණත් නැතත් පොත්පත් පරීක්ෂා කරලා බලන එක. එදා පොත් පරීක්ෂා කරද්දි මේ අනතුරට අදාළ සටහන් කීපයක් එහි සඳහන්ව තිබෙන ආකාරය මම දකිනවා. එහෙම කටඋත්තර දෙකක් පොලිස් පොතේ ලියවිලා තිබුණත් මේ කටඋත්තර දෙක එකිනෙකට පරස්පරයි. එක කටඋත්තරයක තියෙනවා ගුවන් හමුදාපතිවරයා අතින් මේ රිය අනතුර සිද්ධ වුණා කියලා, තවත් කටඋත්තරයක තියෙන්නේ ගුවන් හමුදාපතිවරයා රැගත් මෝටර් රථය වෙනත් පුද්ගලයකු විසින් ධාවනය කරමින් තිබියදී මේ අනතුර සිද්ධ වෙලා කියලා. එතැනදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් අපක්ෂපාතීව රාජකාරි කරන්න මට සිද්ධ වුණා. අවසානයේදී එවකට ආරක්ෂක ඇමැතිවරයාගේ මැදිහත්වීම මත ගුවන් හමුදාපතිවරයාට තනතුර පවා හැර යන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නොවෙයි ඔය සිද්ධිය ඒ වෙද්දි රටේම කතාබහට ලක්වූ පුවතක් බවටත් පත්වුණා.”

මේ වනවිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරය උසුලන ඒ. ඩබ්. බණ්ඩාර මහතා ඉහත විස්තර කර සිටියේ ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිටින අතරතුර මෙරට සිදුවූ ආන්දෝලනාත්මක රිය අනතුරක් පිළිබඳ කෙටි විස්තරයක්ය. වසර 35 ක රාජකාරි ජීවිතය තුළ මෙවැනි සිදුවීම් මෙන්ම වෙනත් රිය අනතුරු, මාර්ග නීති කඩකිරීම් ආදියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී මෙරට දේශපාලන අධිකාරිය පවා ඔහුට විරුද්ධව නැගී සිටින්නට උත්සාහ කර ඇතත් “නීතිය නම් නීතිය” යන ස්ථිරසාර තීරණය මත හිඳිමින් කටයුතු කර ඇති බණ්ඩාර මහතා හමුවේ එවැනි සිදුවීම්වලින් අනතුරුව එවකට පැවති දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් සඳහන් කර ඇත්තේ “තමුසෙ නියම පොලිස්කාරයෙක්” යනුවෙන්ය.

2014 වසරේ සිට මේ දක්වා කොළඹ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් අප ඉන් අනතුරව විමසා සිටියේ වත්මන් තනතුරේ රාජකාරි කටයුතු පිළිබඳවය. දිනපතා කොළඹ නගරය තුළ ධාවනය වන ලක්ෂ සංඛ්‍යාත වාහන හැසිරවීමේ කටයුතු සිදුවන්නේ ඔහුගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණය යටතේය. බොරැල්ල, කුරුඳුවත්ත, වැල්ලවත්ත, කොටුව යන පොලිස් ස්ථානවල රථවාහන අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර කොළඹ පිළිබඳ මනා වැටහීමක් සහිතව කොළඹ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දක්වා දීර්ඝ ගමනක් පැමිණි ඒ මහතා අපගේ ඉල්ලීම මත ඔහුගේ වත්මන් රාජකාරියේ කාර්යභාරය පිළිබඳ කෙටි විස්තරයක් කරන්නට විය.

ගුවන් හමුදාපතිවරයෙක් ගෙදර යැවූ ට්‍රැෆික් OIC - ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර

“පොලිස් රථ වාහන රාජකරිය කියන්නෙ අපේ රට ගත්තත් වෙනත් රටක් ගත්ත්ත් ඉතාමත් වැදගත් රාජකාරි කටයුත්තක්. ඒ බව මුලින්ම සඳහන් කර සිටින්න ඕන. කොළඹ රථ වාහන කොට්ඨාසය ගත්විට ඊට අයත් පොලිස් ස්ථාන 25 ක් පමණ තිබෙනවා. මේ පොලිස් ස්ථාන විසිපහේම රථ වාහන ස්ථානාධිපතිවරු මෙහෙයවීමේ වගකීම මම දරන්න ඕන. ඒ හැරුණුකොට කොළඹ නගරය තුළ සිදුකරන ජාතික වශයෙන් වැදගත්කමක් ගන්න උත්සව, ආගමික උත්සව තවත් පැත්තකින් උද්ඝෝෂණ, විරෝධතා මේ හැම දෙයකදීම රථවාහන හැසිරවීම මගේ පූර්ණ අධීක්ෂණය හා අනුදැනුම මත සිද්ධ වෙන්න ඕන. පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ලබාදෙන උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා (රථවාහන) ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නෙ මට. එතැනදී කොළඹ කොට්ඨාස රථවාහන අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වෙන්නෙ, මහජනතාවට හිරහැරයක් නොවන ආකාරයට, ඒ ඒ තැන්වල රථවාහන හසුරවන්නේ කොහොමද, නිලධාරීන් රාජකාරියේ යෙදවිය යුත්තේ මොන මොන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ද කියන මූලික සැලැස්ම සකස් වෙන්නෙ මගේ මූලිකත්වයෙන්. ඉන්පසුව තමයි අදාළ නිලධාරීන් රාජකාරි පිණිස යොදවන්නෙ. එවැනි ස්ථානයක ලොකු වාහන තදබදයක් ඇති වුණොත්, එහෙම නැත්නම් රථවාහන ධාවනය සම්බන්ධ වෙනත් වෙනත් ගැටලු පැනනැඟුනොත් ඒ වගකීමත් මා විසින් භාරගත යුතුයි. නමුත් මා, මේ තනතුරට පත්වෙලා මේ වනවිට වසර 08 ක් සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ වසර 08 ක කාලය ගත්විට කොළඹ නගරයේ සිදුවූ යම් යම් සිදුවීම් හේතුවෙන් මා ඇතුළු රථවාහන රාජකාරියේ නිරත සහෝදර නිලධාරීන්ට විශාල වැඩ කොටසක් කරන්න සිදුවූ අවස්ථා කීපයක්ම තිබුණා. නමුත් ඒ සෑම කටයුත්තක්ම ශක්ති ප්‍රමාණයෙන් අපට ඉටු කරන්න පුළුවන්කම ලැබුණා. වසර 08 ක් පුරා මට මේ තනතුරේ රැඳී ඉන්න අවස්ථාව ලැබෙන්නෙත් ඒ හින්දම වෙන්න ඇති.”

තම රාජකාරි ජීවිතය පිළිබඳ ඔහු කතාබහ කරන්නේ ඉමහත් තෘප්තියෙන්ය. ඈත, දුර බැහැර මාතලේ උපදින ඒ. ඩබ්. බණ්ඩාර මහතා මේ වනවිට මෙරට හදවත බඳු කොළඹ රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් භාරදූර රාජකාරියක් ඉටු කරමින් ඇත. රථවාහන හැසිරවීම හා මාර්ග නීතිරීති පිළිබඳ මනා පළපුරුද්දක් සහිත ඔහු තම වෘත්තීය දැනුම වඩා වර්ධනය කර ගැනීම පිණිස මෙරට විශ්වවිද්‍යාල දෙකක සහ සිංගප්පූරුවේ පවත්වන ලද උසස් පාඨමාලාවන් කීපයක් හදාරා ඇත. ඔහුගේ රාජකාරි ජීවිතය ගත් කල මේ වනවිට මාරක රිය අනතුරු 293 ක් පමණ ඔහු විසින් විභාග කොට වරදකරුවන් අධිකරණයට පමුණුවා ඇත. ඒ හරහා විශාල පිරිසකට සාධාරණය ඉටු කරන්නටද? ඔහු විසින් කටයුතු කර ඇත. තිස්පස් වසරක් පුරා අඛණ්ඩව පොලිස් රථවාහන අංශයේ සේවය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවූව ද අප කථානායක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එය මේ වනතෙක් මනාව ඉටුකර ඇත. එම කාලය අතරතුර සිදුවූ අමතක නොවන සිදුවීම් මොනවාද යන්න පිළිබඳව අප කළ විමසීමේදී ඔහු සිනාමුසු මුහුණින් ප්‍රකාශ කර සිටියේ එවැනි සිදුවීම බොහොමයක් පවතින බවත් ඒ අතර බිහිසුණු සිදුවීම් රැසක් ද පවතින බවත්ය. අප විසින් නැවත නැවතත් කරන ලද ඉල්ලීමට සවන් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අප එම අතීතය වෙත නැවත රැගෙන යනු ලබන්නේ මෙ ආකාරයෙන්ය.

“කොටි ත්‍රස්තවාදීන් විසින් පිටකොටුවේ බෝම්බෙ පුපුරවද්දී මම රාජකාරි කළේ පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන්. ඒ සිද්ධිය තමයි මම පොලිස් සේවයට ආවට පස්සෙ මුහුණ දුන් පළමු අවාසනාවන්ත සිද්ධිය. බෝම්බ පිපිරීමත් එක්කම රථවාහන රාජකාරියේ නිරතවෙලා හිටිය අපවත් එම ස්ථානයට කැඳෙව්වා. එදා මිනිස්සු සිය ගණනක් මියගියා. තුවාලකරුවන් රෝහල්ගත කරන්න පොලිස් නිලධාරීන් ලෙස අපත් මැදිහත් වුණා. එදා මියගිය පිරිස තියන්න මහ රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩ මදි වෙනවා. අන්තිමට අපට සිද්ධ වෙනවා, බිම ඉටිකොළ එලලා මියගිය පිරිසකගේ මෘතශරීර ඒක උඩ තැන්පත් කරන්න. ඒ සිදුවීම මගේ රාජකාරි ජීවිතය තුළ අමතක නොවන සිදුවීමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සෙ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ආමර් වීදියේදී බෝම්බයට හසුවන අවස්ථාවේ පොලිස් සැරයන්වරයෙක් ලෙස මම ඒ අසල රථවාහන රාජකාරියේ නිරත වෙලා හිටියා. ඔය වගේ සිද්ධීන් ගණනාවකට මුහුණ දුන් අවස්ථා මගේ රාජකාරි ජීවිතය තුළ තිබෙනවා. මහ බැංකුවට බෝම්බ ගහන දවසේ මම රාජකාරි කළේ බොරැල්ල පොලිස් ස්ථානයේ. වෙනත් රාජකාරි කටයුත්තක් පිණිස එදා මට කොටුවට යන්න සිද්ධ වුණා. මම යතුරුපැදියක් ධාවනය කරගෙන මහ බැංකුව පසු කරලා මඳ දුරක් යද්දී තමයි කොටි ත්‍රස්තවාදීන් විසින් මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කරන්නෙ. ඔය වගේ අනූනවයෙන් ජීවිතය බේරාගත් අවස්ථා කීපයකුත් මගේ රාජකාරි ජීවිතය ඇතුළෙ තිබෙනවා.”

තවත් විස්තර බොහෝය. ආදර්ශවත් පොලිස් නිලධාරියකුගේ 35 වසරක රාජකාරි අත්දැකීම් යනු මෙවැනි සටහනකට කිසිසේත් ලඝු කළ නොහැකි කටයුත්තක්ය. නිදහස් දින උත්සව 34 ක සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන පෙරහැර 34 ක රථවාහන හැසිරවීමේ රාජකාරි ඉටුකිරීම ඇතුළු පාස්කු ප්‍රහාරය, ශිෂ්‍ය අරගල, ආණ්ඩු විරෝධි අරගල ඇතුළු මෙකී නොකී කවර හේතුවක් මත හෝ කොළඹ වාහන තදබදයක් ඇතිවේ නම් ඊට නිසි විසඳුම් සෙවීමේ හසල දැනුමක් සහිත ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා අපත් සමග සිදු කළ කතාබහ නිමාවට පත් කිරීමට පෙර එක්තරා සිදුවීමක් මෙනෙහි කරමින් සඳහන් කර සිටියේ වරක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවක ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසිය අගය කරමින් ප්‍රකාශ කළ දෙයකි.

“2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඉන්දීය අගමැතිතුමා මෙරට සංචාරයක නිරත වුණා. විශාල ආරක්ෂාවක් එක්ක තමයි එතුමා මෙරටට පැමිණෙන්නේ. එතැනදී කොළඹ ස්ථාන කීපයකත් එතුමා සංචාරය කරනවා. ඒ හැම අවස්ථාවකම පොලිස් රථවාහන රාජකාරිය මෙහෙයවීමේ වගකීම තිබුණේ මා සතුව. එතුමා මෙරටින් පිටත් වෙද්දී අගමැතිතුමාගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරලා ගියා. ඉන්දීය අගමැතිතුමා ඒ ආසන්න කාලයේ රටවල් හයක සංචාරය කරලා තිබෙනවා. ඒ අතරින් හොඳම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ අපේ රටින් කියලා. ඒ ප්‍රකාශය පොලිසියට වගේම ත්‍රිවිධ හමුදාවටත් ලොකු අභිමානයක් ගෙනදුන් ප්‍රකාශයක්…”

තවත් බොහෝ දේ කතා කළ යුතුව ඇතත් කාලය ඊට හරස් වෙමින් ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට අභිමානය එක් කළ තවත් එක් පොලිස් නිලධාරියකු සමග සිදු කළ කතාබහ නිමා කිරීමෙන් අනතුරුව මසිත ප්‍රකාශ කර සිටියේ තව තවත් එවැනි ආදර්ශ සම්පන්න නිලධාරීන් මෙරට පොලිස් සේවයට අවශ්‍ය බවත් නීතිය අකුරට ඉටු කිරීම තුළ වඩාත් ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය කළ හැකි බවත්ය.

ගුවන් හමුදාපතිවරයෙක් ගෙදර යැවූ ට්‍රැෆික් OIC - ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩබ්. බණ්ඩාර

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment