චැනල් ෆෝ ගුණ්ඩුව – හෙළි කළ යුතුයි ආණ්ඩුව!

357

මේ වන විට සමාජ දේශපාලන අංශවල සංවාදයට ලක්වූ බොහෝ මාතෘකා යටපත් කරමින් ඉදිරියට පැමිණ තිබෙන්නේ බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් මුදාහරින ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා චිත්‍රපටයයි. ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු විපක්‍ෂ කණ්ඩායම් මැදි වූ දේශපාලන රණ්ඩු මෙන්ම ජන ජීවිතය හෙම්බත් කරමින් පැතිර යන ජීවන වියදම් අර්බුද, කඩාවැටී තිබෙන සෞඛ්‍ය සේවය, වෘත්තිකයන්ගේ බදු සටන ඇතුළු ප්‍රශ්න පත්‍රයම පස්සට ගොසින් ය. ආර්ථික යුක්තිය ඉල්ලා නැඟෙන ජනහඬ ද දුබල වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගති ලක්‍ෂණ අභාවයට යෑමේ දුෂ්ට හා බලකාමී විපතක පෙරනිමිති දකිමින් ඉදිරියට පැමිණ සිටින නීතිඥ ප්‍රජාව විසින් කරනු ලබන නීතියේ ආධිපත්‍ය බිඳවැටීමේ අනතුර පිළිබඳව හෝ ප්‍රබල සමාජ අවධානයක් යොමු නොවීම ද බරපතළ ඛේදවාචකයකි. කුමක් වුවත් මේ කිසිවකට සංවේදී නොවන ආණ්ඩුවක් හා තනතුරු, වරප්‍රසාද හා බලතෘෂ්ණාවෙන් අන්ධ වූ දේශපාලන කුළල්කාගැනීම් සමඟ රෝගී වූ සමාජයක් ද අද අප දෑස් අබියස දැකගත හැකිය.

අපි පළමුවෙන් ම ආණ්ඩුව, විපක්‍ෂය පමණක් නොව සිවිල් සංවිධාන ඇතුළු ආගමික නායකයන් ද මැදිහත් වී සිටින චැනල් ෆෝ අනාවරණය කෙරෙහිම අවධානය යොමු කරමු. චැනල් ෆෝ යනු ස්වාධීන හෝ අපක්‍ෂපාතී ආයතනයක් නොවන බව මෙරටේ මුල්බැසගත් අදහසකි. ඔවුන්ගේ අනාවරණයන් කිසියම් අගතිගාමී න්‍යාය පත්‍රයකට අනුව සිදුවන බවට ප්‍රකට චෝදනා හා විවේචන ද තිබේ. චැනල් ෆෝ වලට මුවා වූ අඳුරු සෙවණැලි ක්‍රියාත්මක වන ආකාරය ඒ මාධ්‍ය භාවිතය තුළින්ම තහවුරු කරන ලද්දකි. මෙයට ප්‍රථම අප විසින් ද මෙම අනාවරණය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබ ඇත. මෙම සඳුදා (11 දා) චතුර පමුණුවගේ විමසුම මගින් ද එම අනාවරණය පිළිබඳව විශ්ලේෂණයක් කර තිබුණි. එනිසා එම කරුණු පුනරුච්චාරණය කළ යුතු නැත. ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අද තිබෙන විවේචන වුවද අපට පෙන්වා දෙනු ලබන්නේ සත්‍යය හා යුක්තිය අඳුරේ තිබෙන බව ය. එසේ වුවද කිසියම් මාධ්‍ය භාවිතයක් දුෂ්ට හා මුග්ධ අරමුණු වෙනුවෙන් යොදා ගන්නේ නම් ඒවා නිරුවත් කිරීම සත්‍යයේ නාමයෙන් සිදු කළ යුත්තකි.

චැනල් ෆෝ සම්බන්ධයෙන් එහි සඳහන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම බුද්ධි ප්‍රධානියකුව සිටි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ද ප්‍රතිචාර දක්වා තිබේ. මෙම අනාවරණය හුදු පාස්කු ප්‍රහාරය කෙරෙහිම කේන්‍ද්‍රගතව නැත. එයට කිසිසේත් සම්බන්ධයක් නොමැති ලසන්ත වික්‍රමතුංග ඝාතනය ද එහිදී මතුකරනු ලැබ ඇත. එයින් තහවුරු වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට වඩා ආන්දෝලනයට ලක්වූ රාජපක්‍ෂවරුන්ට මෙම හෙළිදරව්වෙන් චෝදනා නැඟීමක් බව ඉතා පැහැදිලිය.

පාස්කු ප්‍රහාරය සිදු වූ කාල වකවානුව තුළ බලයේ සිටියේ යහපාලන ආණ්ඩුවය. රාජපක්‍ෂවරුන් යළිත් දේශපාලන වශයෙන් නැඟී සිටියේ යහපාලනයට අන්ත පරාජයක් අත්කර දෙමින් ය. එහිදී බලයට පත්වන ගෝඨාභය ඉතා පැහැදිලිවම සිංහල බෞද්ධ ජාතිකත්වය මත පදනම් වූ චරිතයකි. බලයට පත්වූ ගෝඨාභයගේ නිල උත්සවය පැවැත්වුණේ ද සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු රුවන්වැලි මහ සෑ රදුන් අබියසය. රාජපක්‍ෂවරුන් නියෝජනය කරන ජාතිකත්වයට නැඹුරු දේශපාලන චර්යාව සම්බන්ධයෙන් ඔවුන්ට විවේචන තිබීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔවුන්ට බලය ලබා ගැනීම සඳහා මෙවන් ම්ලේච්ඡ ප්‍රහාරකයන්ගේ අශිෂ්ට ඝාතනයක් ඉවහල් වූයේ ද යන්න නිසැකයෙන් ම පිරිසිදුව දැනගැනීමට ජනතාවට ද අයිතියක් ඇත.

මෙරටේ දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම තුච්ඡ, නින්දිත ක්‍රියාවක් කිරීමට සූදානම් නායකයෝ ද සිටිති. ජනාධිපතිවරණයකදී එකල සිටි ප්‍රභාකරන්ගේ ද උපකාර ලත් පාර්ශ්වයක් ගැන ද කටකතා පවතී. එසේ වුවද මෙම චැනල් ෆෝ අනාවරණයේ අරමුණ, එහි කවර හෝ සත්‍යයක් තිබේද යන ප්‍රශ්නය ආණ්ඩුවට මඟහැර යා නොහැකිය. ජනාධිපති රනිල් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව ද පිළිගනී. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ඔහු පියවර ගෙන තිබේ. එසේම මේ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ ගැන විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කිරීම ආණ්ඩුවේ අපේක්‍ෂාවකි.

කෙසේ හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ ක්‍රියාන්විතයක් ද ඇරඹී තිබේ. යහපාලන සමයේ සිටි ආරක්‍ෂක ලේකම්, පොලිස්පති මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල ඇතුළු කීපදෙනකුටම එරෙහිව ඒ කටයුතු ද සිදු වූ අතර වන්දි ගෙවීමට ද නියමව තිබුණි. මෙතෙක් තීන්දුවක් ප්‍රකාශ නොකළ නඩු ද තිබේ. ඒ අතරම මෙම ප්‍රහාරය කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් ද අවධානය යොමුව ඇත. චැනල් ෆෝ වාර්තාව සම්බන්ධයෙන් ඉන්දියාව සැක මුසුව බලන බව ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවියෙන් තහවුරු වේ. රාජපක්‍ෂ පාලනයේ විවිධ දුබලතා, ඥාති සංග්‍රහ ආදිය විමර්ශනය කිරීම ගැටලුවක් නොවූවත් මෙම ප්‍රහාරයට රාජපක්‍ෂවරුන් සම්බන්ධ කිරීම ගැන විමර්ශනයක් සිදුකළ යුතු බව ද එහි සඳහන් වේ.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විවේචනයට තුඩු දී තිබෙන යහපාලන සමයෙහි ජනාධිපතිව සිටි මෛත්‍රිපාල පවසන්නේ මේ චැනල් ෆෝ අනාවරණය විමර්ශනයට ජාත්‍යන්තර සහාය ද වුවමනා බවය. දෙමළ සන්ධානයේ ප්‍රමුඛයකු වන ආර්. සම්බන්ධන් පවසන්නේ ද ජාත්‍යන්තර සහාය ලබාගෙන ඒ තොරතුරු විමසිය යුතු බවය. සජබ හා විපක්‍ෂ නායක සජිත් මෙන්ම ජා.ජ.බ. නායක අනුර කුමාර ද එබඳු ජාත්‍යන්තර මැදිහත්වීමක් අනුමත කරති. පාස්කු ප්‍රහාරය හෙළාදකිමින් දේශපාලන අධිකාරියට ද අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ අවධාරණය වන්නේ ද ජාත්‍යන්තර විමර්ශනයකින් ඒ ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිකර ගත යුතු බවය. ඒ සාහසික ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූ කිතුනුවන් ඇතුළු සියලු දෙනාටම යුක්තිය ඉටුවන්නේ ඒ නීච ප්‍රහාරය පසුපස සැඟවී සිටින අමන රැළ හෙළිදරව් කිරීමෙන් පමණක් බව ද කාදිනල් හිමියෝ පවසති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ද මෙම ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක මැදිහත්වීම අවධාරණය කරයි. ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් අදත් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ වෙයි. හරි හෝ වැරදි හෝ වේවා ලංකාවට මෙබඳු ජාත්‍යන්තර තෙරපීම්වලින් මිදීමට ඇති එකම මාර්ගය සමාජ, දේශපාලන ක්‍රියාවලිය පිරිපහදු කරගැනීම හා සාධාරණයත් යුක්තියත් උදෙසා කැපවන රටක් බවට විශ්වාසයක් ගොඩනඟා ගැනීම පමණි. චැනල් ෆෝ කබාය තුළ ලංකාවේ ස්වාධීනත්වය නොතකන දුෂ්ට බලවේග සිටින බව නිසැකය. විශේෂයෙන් රාජපක්‍ෂවරුන් හා අපේ ආරක්‍ෂක ප්‍රධානීන් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බටහිර රටවල් ද වේ. ප්‍රභාකරන්ට අත්වූ පරාජය සම්බන්ධයෙන් ඒ රටවල් අදත් කඳුළු හෙළමින් සිටින බව ද රහසක් නොවේ. චැනල් ෆෝ, ඒ රාජපක්‍ෂ විරෝධයෙහි නිත්‍ය ප්‍රකාශකයා බවට පත්ව සිටින බවට තිබෙන විවේචනය ද පදනම් විරහිත යැයි ද කිව නොහැක.

ලංකාවට මෙම ගෝලීය දේශපාලන හා ආර්ථික ග්‍රහණයන්ගෙන් මිදිය නොහැකි බව ද අප තේරුම් ගත යුතුය. ජාත්‍යන්තරය ඉදිරියේ දණින් වැටීම වෙනුවට හිස කෙළින් තබා නැඟීසිටීමට නම් අපගේ ක්‍රියාකාරකම්වල පාරදෘශ්‍යභාවය, විවෘත භාවය අත්‍යවශ්‍ය වේ. ආණ්ඩුවක් වශයෙන් ඒ අනාවරනයන්ට එරෙහිව නිවේදන නිකුත් කිරීමෙන් පමණක් අපට නිදහස් විය නොහැකිය. මෙම දුෂ්ට ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ උමතුවක් ද?

චැනල් ෆෝ ගුණ්ඩුව - හෙළි කළ යුතුයි ආණ්ඩුව!

නොඑසේ නම් එය වෙනත් දුෂ්ට බල අරමුණක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේද? යන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත යුතුය. ඉහත සඳහන් කළ පරිදිම මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක්ව වැරදිකරුවන් වූ අය ද සිටිති. එහෙත් මේ අපරාධය සිදුකළ ඝාතන කල්ලිය මෙහෙයවූ දේශපාලන පිරිසක් සිටියේ ද යන්න හෙළිකර ගත යුතුය. ආණ්ඩුව ද ඒ සඳහා පිළිගත හැකි විමර්ශනයකට සහාය දීමට බැඳී සිටියි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කළ යුතු නම් පොදුජන පෙරමුණ ද එයට එකඟ බව එහි ලේකම් සාගර කාරියවසම් කියා තිබේ. එසේම දැනට තිබෙන වාතාවරණය තුළ එයට කිසිසේත් දේශීය විමර්ශනයක් ප්‍රමාණවත් නොවන බව ද පෙනේ. “අපේ නඩුහබ අපි විසඳා ගන්නෙමු. නුඹලා නුඹලාගේ වැඩක් බලා ගනිල්ලා” යැයි පැවසීමට අද අපට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකාව දඩුකඳේ ගැසීමට බලා සිටින කිසිවකුට සුළු හෝ ඉඩක් නොතැබීම ද පාලකයන්ගේ වගකීමකි.

චැනල් ෆෝ ගින්නෙන් රාජපක්‍ෂවරුන්ගේ පමණක් නොව ආණ්ඩුවේ නායකයන් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ද ඉහමොළ රත්වෙද්දී ශ්‍රී.ල.නි.පයේ දේශපාලන කැණිමඬලට ද හෙණයක් පාත්වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පක්‍ෂ මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර එළියට විසිවී ඇත. පක්‍ෂයේ ක්‍රියාකාරකම් හෝ එකඟතාවන්ට උඩින් පැන ආණ්ඩුවට හේත්තු වූ අමරවීර හා නිමල් සිරිපාල ඇමැතිවරු පක්‍ෂය තුළ බලවත්ව සිටිතියි කියනු ඇසෙයි. ශ්‍රී.ල.නි.පය බිහිවීම, දේශපාලන පිළිතුරකට වඩා බණ්ඩාරනායක හා ඩී. ඇස්. සේනානායක අතර වූ ගැටුමක් නිසා බව සමහරු දකිති. එහෙත් එම පක්‍ෂයට ජාතික සංස්කෘතික මුහුණුවරක් ලබාදීමට බණ්ඩාරනායකට හැකි වූ බව ද පිළිගත යුතුය. 1956 දී ඇති වූ ජාතික සංස්කෘතික ප්‍රබෝධය එතෙක් තිබුණු බටහිර ගැති කොම්ප්‍රදෝරු ධනපතියන්ට අත්වූ ඓතිහාසික මෙන්ම වේදනාකාරී පරාජයක් විය. කුමක් වුවත් බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමාවන් විසින් මෙහෙයවන ලද ශ්‍රී.ල.නි.පය වමේ ප්‍රබලයන් ද සමඟ එක්ව රටට ලබාදුන් සාධනීය දේශපාලන ප්‍රතිඵල ද විය. ඇගෙන් පසු චන්‍ද්‍රිකාට ද කඩාවැටුණු ශ්‍රී ල.නි.පය ප්‍රතිසංස්කරණය කළ හැකි වුවත් එය ස්ථාවර වුයේ නැත. එසේම ඉනික්බිතිව පක්‍ෂය මෙහෙයවූ මහින්ද දෙවරක් රාජ්‍ය බලය අත්කර ගත්තත්, පක්‍ෂයේ ජීවය එහෙමපිටින්ම විනාශ කළ බව දේශපාලන විචාරකයන්ගේ අදහසය.

ශ්‍රීලනිපය අද දේශපාලන විගඩම් මඩුවක් බවට පත් වුයේ ද මහින්ද විසින් චන්‍ද්‍රිකා ද ඉවත් කරන ලදුව ගෙනගිය මෙහෙයුම් නිසා බව ද කියති. ශ්‍රී.ල.නි.ප. මහලේකම්ව සිටි මෛත්‍රී පක්‍ෂයෙන් කඩා රනිල් සමඟ යහපාලන ආණ්ඩුව ගොඩනැඟීමේ ක්‍රියාන්විතය පසුපස ද චන්‍ද්‍රිකා ද වූවාය. එහෙත් රනිල් හා මෛත්‍රී විරසකය නිසා ඇති වූ දේශපාලන කඩාවැටීම, මහින්දගේ නායකත්වය පෙන්වා ඇරඹුණු පොදුජන පෙරමුණට නැතහොත් පොහොට්ටුවට වාසිදායක විය. මහින්ද සමඟ ශ්‍රී.ල.නි.පය මෙන්ම වෙනත් ජාතික බලවේග ද එක්වෙද්දී ශ්‍රී.ල.නි.පය අනාථ භාවයට පත්විය. මෛත්‍රී ජනාධිපතිවරයා ලෙස පක්‍ෂය මෙහෙයවූවත් එය සාර්ථක ගමනක් වූයේ ද නැත. කුමක් වුවත් රනිල් සමඟ එක්වීමෙන් මෛත්‍රී ශ්‍රී.ල.නි.පය ප්‍රපාතයකට රැගෙන ගිය බවත් අදත් ඔහු ඒ කාර්යය සඳහා ක්‍රියාත්මක වන බවත් දයාසිරිගේ චෝදනාවය.

කෙසේ හෝ මේ වන විට ශ්‍රී.ල.නි.පය මෙන්ම පොහොට්ටුව ද දෙදරා යන ලකුණු පෙනේ. එහි පිරිසක් රනිල් සමඟය. එසේම මෛත්‍රී සමඟ සන්ධානයකට නොඑන බවට පොහොට්ටුවෙන් කැඩී ගිය සමහරු සහතික කරති. දයාසිරිගේ බල බිඳ හෙවත් දත් ගලවා ඔහු පක්‍ෂය තුළ තබාගැනීම මෛත්‍රීගේ මෙන්ම මහින්ද අමරවීරගේ ද අරමුණ බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනේ. මේ වන විට රටේ කැපී පෙනෙන දේශපාලන බලවේග ලෙස ජනතාව බලා සිටින්නේ ස.ජ.බ.ය දෙස ද? නැත්නම් ජා.ජ.බය දෙස ද? යන්න නිශ්චිතව කිව නොහැක. එහෙත් ජා.ජ.බ.යේ අනුර කුමාරගේ දේශපාලන ආමන්ත්‍රණය ප්‍රබල බව හැඟේ. කුමක් වුවත් ගාලුමුවදොර අරගලයෙන් ඉල්ලා සිටින වෙනස යථාර්ථයක් වේද?. ඒ වෙනුවෙන් ප්‍රභූ දේශපාලනය පරාජය කළ හැක්කේ අනුර කුමාරට ද නැත්නම් සජිත්ට ද යන්න මතු දවසේ පළමුවෙන් ම එළැඹෙන මැතිවරණයේදී තහවුරු කරගත හැකිය. අනෙක් අතට ජනාධිපති රනිල්ගේ අනුග්‍රයෙන් යළිත් සිය දේශපාලන ගුහාවෙන් පිටතට පැමිණි රාජපක්‍ෂ කඳවුරට මුහුණදීමට ප්‍රබල දේශපාලන සන්ධානයක් අවශ්‍ය බව ද රහසක් නොවේ. අද තිබෙන දේශපාලන හිඩැස පිරවිය යුත්තේ ජනතා විශ්වාසභංගයට පත්ව සිටින වැඩවසම් නායකයන්ගෙන් හෝ ඔවුන් පෙරමුණෙහි තබාගත් සන්ධානවලින් නොවන බව ද අපගේ අදහසය. ජනතාව ඉල්ලා සිටින දේශපාලන හා සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දිය හැක්කේ ද එබඳු නැවුම් බලවේගයකට පමණි. එහෙත් බලය රසවිඳ පුරුදු සාම්ප්‍රදායි ප්‍රභූ පැළැන්තිය තමන්ට එල්ල වූ ජනතා විරෝධය නොකතා දේශපාලන භූමියේ සිටීමට දරන ප්‍රයත්නය ද ඉතා පැහැදිලිය. රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන මෙහෙයුම වන පොහොට්ටුවේ ලේකම් සාගර විසින් කරන ලද ප්‍රකාශය තුළ නින්නාද වන්නේ ඒ අභිලාෂයයි. ඔහු චැනල් ෆෝ අනාවරණය අර්ථ දක්වන්නේ රාජපක්‍ෂවරුන් යළි බලයට පත්වනු ඇතැයි බියට පත් බටහිර බලවේග ඒ මුසාවාද ගොන්න ඇතුළත් වෛරී ප්‍රතිචාරය සමාජගත කිරීමක් ලෙස ය. එපමණක් නොව ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වුවද පක්‍ෂය සූදානම් බව ඔහු පැවසීම ද සුවිශේෂ කරුණකි. කුමක් වුවත් රටම අද තිබෙන්නේ අතිශය තීරණාත්මක මොහොතකය. අන්තෝජටා බහිජටා තත්ත්වයක් ද ඒ දේශපාලනය තුළ දැකගත හැකිය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment